සීනී – දේශීය නිෂ්පාදනය රටේ සමස්ත ඉල්ලුමෙන් 9%යි. බදු අඩුකළ පසු ආනයන 22.7%කින් ඉහළට

    May, 10, 2021

    උක් වගා කරන ලද භූමි ප‍්‍රමාණය සහ අඹරන ලද උක් ප‍්‍රමාණය ඉහළ යෑම හේතුවෙන්, 2020 වසරේ දී සීනි නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් 59,869ක් දක්වා සියයට 14.5කින් ඉහළ ගියේය. ගල්ඔය සහ සෙවනගල සීනි කර්මාන්තශාලාවන්හි නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් 20,173ක් සහ මෙටි‍්‍රක් ටොන් 16,114ක් දක්වා, පිළිවෙළින්, සියයට 81.3කින් සහ සියයට 0.6කින් ඉහළ ගියේය.

    කෙසේ වෙතත්, වියළි කාලගුණික තත්ත්වයන්ගේ බලපෑමෙන් උක් අස්වැන්න පහළ යෑම සහ සීනි ලබා ගැනීමේ ප‍්‍රතිශතය  අඩු වීම හේතුවෙන්, සමස්ත දේශීය සීනි නිෂ්පාදනයෙන් සියයට 39කට පමණ දායකත්වයක් සපයන පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ නිෂ්පාදනය, 2020 වසරේ දී මෙටි‍්‍රක් ටොන් 23,582ක් දක්වා සියයට 6.3කින් පහළ ගියේය. කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සහ උක් වගා කටයුතු නැවත ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා වසර තුළ දී තව දුරටත් සිදු කෙරිණි. මේ අතර, නුදුරු අනාගතයේ දී නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමේ අරමුණින්, සීමාසහිත ඇතිමලේ (පුද්ගලික) සමාගම යටතේ නව සීනි කර්මාන්තශාලාවක් උක් වගා කටයුතු ආරම්භ කළේය. සමස්තයක් වශයෙන් ගත් විට, පෙර වසරේ සියයට 7.2ක් වූ සීනි ලබා ගැනීමේ ප‍්‍රතිශතය, 2020 වසරේ දී සියයට 6.8ක් දක්වා පහළ ගිය අතර, 2020 වසරේ දී දේශීය සීනි නිෂ්පාදනය රටේ සමස්ත සීනි ඉල්ලූමෙන් සියයට 9ක් පමණ සපුරාලීමට ප‍්‍රමාණවත් විය. විශේෂයෙන් 2020 ඔක්තෝම්බර් මාසයේ දී සීනි ආනයනය සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීමෙන් පසුව, 2020 වසරේ සීනි ආනයනය මෙටි‍්‍රක් ටොන් 682,553ක් දක්වා සියයට 22.7කින් ඉහළ ගියේය.

    දේශීය සීනි නිෂ්පාදනය පුළුල් කිරීමේ හැකියාව සහ සීනි ආනයනය කිරීමේ දී සැලකිය යුතු විදේශ විනිමය ප‍්‍රමාණයක් වැයවීම සැලකිල්ලට ගනිමින්, නවීන තාක්ෂණය භාවිතය, ඉහළ අස්වැන්නක් ලබා දෙන උක් ප‍්‍රභේද භාවිතය සහ වඩා යහපත් බෝග කළමනාකරණ ක‍්‍රමෝපාය සමඟ සීනි කර්මාන්තයට පුනර්ජීවනයක් ලබා දීම ඉතා වැදගත් වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාවෙහි මේ බව සඳහන් වේ.