සීෂෙල්ස් මාළුත් ලංකාවට ගොඩ බහින හැඩ

    August, 29, 2014

    සීෂෙල්ස් රාජ්‍යයෙන් ලංකාවට පරිභෝජනය සඳහා මාළු ගෙන්වීමට අවධානය යොමුවී තිබෙන බවත් මේ සම්බන්ධයෙන් මේ වනවිට දෙරට අතර සාකච්ඡා ආරම්භ වී ඇති බවත් එරට වෙළඳ හා ආයෝජන අමාත්‍ය පියරේ ලැපෝර්ට් (pierre Laporte) මහතා කොළඹදී පැවසීය.

    කුඩා දූපත් රාජ්‍යයක් වන සීෂෙල්ස් රාජ්‍ය සමග ලංකාව ආර්ථික සබඳතා තර කර ගනිමින් සිටින අතර එරට ප්‍රධානතම කර්මාන්ත වන්නේ ධීවර හා සංචාරක කර්මාන්තයයි.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ සීෂෙල්ස් රාජ්‍යයේ ආයෝජන මණ්ඩලය අතර ඊයේ පෙරවරුවේදී කොළඹදී ගිවිසුමක් අත්සන් කිරීමද සිදුවිය.

    යුද්ධය අවසන් කිරීමෙන් පසුව මෙරට උතුරු-නැගෙනහිර පළාත්වල ධීවර කර්මාන්තය පිබිදීම හමුවේ මෙරට මත්ස්‍ය නිෂ්පාදනයද මේ වනවිට වර්ධනය වී තිබේ.

    මේ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වලට අනුව ගිය වසරේදී මෙරට මත්ස්‍ය නිෂ්පාදනය සියයට 6.9 කින් වර්ධනය වී මෙට්ට්‍රික් ටොන් 512,840 ක් විය.

    ඉතා කුඩා රාජ්‍යයක් වන සීෂෙල්ස්හි සිටින සමස්ත ජනගහනය 92,000 කට ආසන්න වන අතර මේ වනවිට ලංකා බැංකුව හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මෙන්ම සන්කන් ඉදිකිරීමේ සමාගම එරට ව්‍යාපාරික කටයුතු සිදුකරයි.