සීෂෙල්ස් රාජ්‍යයේ බලශක්ති අංශයට ලංකාවේ සහාය

    June, 16, 2015

    පසුගිය කාලයේදී මෙරට බොහෝ කතා බහට ලක්වූ සීෂෙල්ස් රාජ්‍යයේ විකල්ප බලශක්ති ප්‍රභවයන් ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා රජයේ පූර්ණ සහාය ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එරට ශ්‍රී ලංකා තානාපතිවරයාට සඳහන් කර තිබේ.

    සීෂෙල්ස් රාජ්‍යයෙහි තානාපති වැවන් විලියම් මහතා ( His. Excellency the Ambassador Waven William) අද කොළඹදී මුණ ගැසුණු අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

    තානාපතිවරයා මෙහිදී පවසා තිබෙන්නේ තම රාජ්‍යයද පුනර්ජනනීය බලශක්ති (Renewable Energy) ප‍්‍රභවයන් කෙරෙහි යොමුවීමට අදහස් කරන බවත්, ඒ සඳහා ශ‍්‍රී ලංකා රජයේ සහාය අපේක්ෂා කරන බවයි.

    මේ වසර අවසන් වනවිට ලංකාවේ ජනතාවගෙන් සියයට සියයක් සඳහාම විදුලිය ලබාදීමට හැකිවනු ඇති බවත් මෙහිදී පුනර්ජනනීය බලශක්ති (Renewable Energy) ප්‍රභවයන්ද භාවිතා කිරීමට අදහස් කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

    පසුගිය රජය සමයේදී ඇතැම් පිරිස් සීෂෙල්ස් රාජ්‍යයේ වත්කම් සඟවා ඇතැයි පසුගිය කාලයේදී දිගින් දිගටම චෝදනා එල්ල විය.

    මේ වනවිට, සීෂෙල්ස් රාජ්‍යයේ ලංකා බැංකුවක් පිහිටුවා තිබේ.