සුඛෝපභෝගී වාහන බද්දෙන් පර්මිට් හිමියන් දැඩි අසීරුතාවයක

    November, 16, 2017

    මෙවර අයවැය යෝජනාවන්ට අනුව මෝටර්වාහන බදුවල ඇති වූ සංශෝධනයන් හේතුවෙන්, වාහන බලපත්‍ර මත ආනයනය සඳහා යොමු වූ බොහෝ දෙනෙකු මේ වන විට දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි වාර්තා වේ.

    අයවැය යෝජනා ඉදිරිපත් වීමට පෙර ණයවර ලිපි (LC) විවෘත කරන ලද ගැනුම්කරුවන් හට මේ වන විට සිය වාහනය වරායේ දී නිදහස් කර ගැනීම සඳහා ගෙවිය යුතු තීරු බදු ගාස්තුව කුමක්ද යන්න පිළිබඳව මතභේදකාරීත්වයක් ඇති වී තිබීම මීට හේතුවයි.

    2018 නව අයවැය යෝජනාවලට අනුව එන්ජින් ධාරිතාව 2,500CC ටවැඩි අධි සුඛෝපභෝගී වාහන සඳහා විශේෂ බද්දක් පනවනු ලබන බව මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේ දී කියා සිටියේය.

    මෙම නව බද්දත් සමඟ වාහන ආනයනකරුවන් කියා සිටියේ අධි සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයකම මිල ගණන් රුපියල් මිලියන 5 සිට මිලියන 25 දක්වා මිල ගණන්වලින් ඉහළ යනු ඇති බවයි.

    නව බදු සංශෝධන සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදකාරීත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා හා වාහන ආනයනකරුවන් අතර හමුවක් ඊයේ (15) සවස පැවති අතර අද දෙරණ Biz වෙත වාර්තා වන්නේ, මෙම හමුවේ දී අයවැයට පෙර ණයවර ලිපි විවෘත කරන ලද වාහන බලපත්‍ර හිමියන් වෙත යම් සහනයක් ලබා දීම කෙරෙහි සලකා බැලීමට මුදල් අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බවයි.

    කෙසේ වෙතත් අදාළ තත්ත්වය සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් අද හෝ හෙට දිනය තුළ නිකුත් වීමට නියමිත බව අද දෙරණ Biz වෙත වැඩිදුරටත් වාර්තා වේ.