සුරැකුම්පත් කොමිසමෙන් කොටස් තැරැව්කරුවන් සිව්දෙනෙකුට නඩු

    August, 21, 2019

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් 2019 ජූලි 25 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කොටස් තැරැව්කරුවන් සිව්දෙනෙකුට විරුද්ධව චෝදනා ගොනු කර තිබේ. වෙළෙඳපොළ හැසිරවීම, ඊට ආධාර හා අනුබල සැපයීම යන කරුණු යටතේ මෙලෙස චෝදනා ගොනු කර ඇත්තේ ලංකා කන්නන්ගර, ෆාරික් ෆුර්කාන්, කපිල සේනරත් බන්ඩාර හා රවීන්ද්‍ර මල්ලවාරච්චි යන කොටස් තැරැව්කරුවන් සිව්දෙනාට එරෙහිවය.

    2011 සැප්තැම්බර් 02 සිට 29 දක්වා කාලය තුළ කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත සමාගමක් වන  Radiant Gems International PLC (RGEM) හි කොටස් සම්බන්ධයෙන් වෙළඳපොළ හැසිරවීම සහ ආධාර කිරීම සහ අනුබල දීම මොවුන්ට එරෙහිව ඇති චෝදනා වේ.

    ඉහත විත්තිකරුවන් විවිධ කොටස් තැරැව්කාර සමාගම්වල ආයෝජන උපදේශකයින් වන අතර, 2011 සැප්තැම්බර් 02 සිට 29 දක්වා කාලය තුළ එම කොටස් තැරැව්කාර සමාගම්වල ඇතැම් සේවාදායකයින්ගේ CDS ගිණුම් භාවිතා කරමින් Radiant Gems සමාගමේ කොටස් ගනුදෙනු කර තිබේ. මෙහිදී ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම පවසන්නේ එම ගනුදෙනු හරහා Radiant Gems සමාගමේ කොටස් මිල සම්බන්ධයෙන් ක්‍රියාකාරී වෙළඳාමේ ව්‍යාජ හා නොමඟ යවනසුළු ස්වභාවයක් නිර්මාණය කර ඇති බවයි. එය ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ 12 වන රීතිය උල්ලංඝනය කිරීමකි.

    මෙම චෝදනාවන් සඳහා වැරදිකරුවන් වුවහොත්, විත්තිකරුවන් වසර පහකට නොවැඩි කාලයක සිර දඬුවමකට, රුපියල් පනස් දහසකට නොඅඩු හා රුපියල් මිලියන දහයක් නොඉක්මවන දඩයකට හෝ එම දඬුවම් දෙකටම හෝ යටත්වනු ඇත.

    2019 අගෝස්තු 28 දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට දැනුම් දී තිබේ.