January, 23, 2020
ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ඊයේ (2020 ජනවාරි 22) දින වැඩ භාර ගන්නා ලදී.
ජනාධිපති නීතීඥ දයාරත්න මහතා අධ්‍යාපනය ලබා ඇත්තේ කොල්ලුපිටිය ශාන්ත තෝමස් මුලික පාසලෙන් සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. 1989 දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වූ ඔහු 1992 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා උපරිමාධිකරණයේ නීතිඥයෙකු ලෙස දිවුරුම් දෙන ලදී. ජනාධිපති නීතීඥ දයාරත්න මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකි. ඉන් අනතුරුව ඔහු වේල්ස් විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ නීතිපති උපාධියක් ද ලබා ඇත.
1993 ජනවාරි මාසයේදී ඔහු ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවට බැඳී එහිදී අපරාධ හා සිවිල් කටයුතු පිළිබඳ වසර 27 කට වැඩි පළපුරුද්දක් ලබා ඇති අතර මුලික සහ අභියාචනාධිකරණවල ද කටයුතු කර අත්දැකීම් ඇති අයෙකි.
ජනාධිපති නීතීඥ දයාරත්න මහතා වසර 2018 දී ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස පත් කරන ලද අතර 2018 මැයි මාසයේදී ජනාධිපති නීතිඥයෙකු ලෙසද පත් කරන ලදී.
ඔහු 2009 සිට 2011 දක්වා ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශයේ නීති විශාරදයකු ලෙස සේවය කර ඇත. ජනාධිපති නීතීඥ දයාරත්න මහතා ෆීජි ජනරජයේ අභියාචනාධිකරණයේ බාහිර විනිසුරුවරයෙකු ලෙස ද ආසියානු ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයේ (AIAC) විනිශ්චයකරුවන්ගේ කමිටුවේ විනිශ්චයකරුවෙකු ලෙස ද කටයුතු කරයි. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විනිශ්චයකාර අධිනීතිඥවරයෙකු ලෙසත්, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ කථිකාචාර්යවරයකු සහ අධීක්ෂකවරයෙකු ලෙසත් කටයුතු කර ඇත.
ජනාධිපති නීතීඥ දයාරත්න මහතා ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස සිය රාජකාරි භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිදහස් කර ඇත.
ඡායාරූපය: සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නව සභාපති විරාජ් දයාරත්න මහතා වැඩ භාරගත් අවස්ථාව, අධ්යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන මහතා, අධ්යක්ෂවරුන්, සහකාර අධ්යක්ෂවරුන් සහ
සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අංශ ප්‍රධානීන් ද ඡායාරුපයේ සිටී.
Video Story