April, 11, 2019
සුරැකුම්පත් ආයෝජන සඳහා තවත් විශේෂාංගයක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාසෙක්‍යු පද්ධතිය ඔස්සේ කෙටි පණිවුඩ හා විද්‍යුත් තැපෑල හරහා දැනුම් දීමේ සේවාවක් 2019 මාර්තු 25 දින සිට හඳුන්වා දෙන ලදී. මෙ මගින් රජයේ සුරැකුම්පත් ආයෝජකයින්ගේ (ලංකාසෙක්‍යු පද්ධතියේ ගනුදෙනුකරුවන්ගේ) දැනුම්වත්භාවය වැඩිදියුණු කිරීම අරමුණු කෙරෙයි.
මෙම කෙටි පණිවුඩ/විද්‍යුත් තැපෑල හරහා දැනුම් දීමේ සේවාව මගින් රජයේ සුරැකුම්පත්වල ආයෝජකයින් හට තම සුරැකුම්පත් ගිණුමේ සිදු කරන ලද සෑම නිර්ලේඛන සුරැකුම්පත් ගනුදෙනුවක් සඳහා ම තත්කාලීන දැනුම් දීමක් සිදු කෙරෙයි. එ නම්, ගනුදෙනුකරුවන්ගේ සුරැකුම්පත් ගිණුමේ හෙවත් CDS ගිණුමේ ගනුදෙනුවක් සිදු කෙරෙන අවස්ථාවේ දී ම ගනුදෙනුකරුවන්ට ඉහත මාධ්‍යයන් ඔස්සේ ඒ පිළිබඳ දැනුම් දීමක් (කෙටි පණිවුඩ “LankaSecure” වෙතින් ද, විද්‍යුත් තැපෑල “no-reply@cbsl.lk” වෙතින් ද) ලැබෙනු ඇත.
තත්කාලීන දැනුම්දීම් කෙටි පණිවුඩයක් ලෙස හෝ විද්‍යුත් තැපැල් පණිවුඩයක් ලෙස හෝ නො එසේ නම් එම මාධ්‍යයන් දෙකෙන් ම ගනුදෙනුකරුගේ මනාපය මත ලබා ගත හැකි යි. ඒ අනුව, මෙම පහසුකම සක්‍රිය කර ගැනීම සඳහා අදාළ භාරකාර ආයතනයන් (බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන්) විසින් එක් එක් ගනුදෙනුකරුට යෝග්‍ය දැනුම්දීමේ මාධ්‍යය සහ එම සම්බන්ධතා පිළිබඳ විස්තර ලංකාසෙක්‍යු පද්ධතියේ සටහන් කළ යුතු යි.
මෙම සේවාව සඳහා ලියාපදිංචිය තහවුරු කර ගැනීම සඳහා ගනුදෙනුකරුවන් පහත දැක්වෙන පරිදි සිය අභිමත දැනුම්දීමේ මාධ්‍යය සහ සම්බන්ධතා විස්තර ලිඛිත ව අදාළ භාරකාර ආයතනය වෙත භාර දිය යුතු යි.
මෙම සේවාව මගින් ලබාදෙන දැනුම්දීම්වල අන්තර්ගතය, ගනුදෙනුකරුවන් විසින් භාරකාර ආයතනයන් වෙත ලබා දෙන ලද උපදෙස් සහ ගනුදෙනුකරුවන් සහ භාරකාර ආයතනයන් අතර වන ගිවිසුම්වලට අනුකූල බවට නිශ්චය කර ගැනීමට ගනුදෙනුකරුවන්ට උපදෙස් දෙනු ලැබේ.
මෙම කෙටි පණිවුඩ/විද්‍යුත් තැපෑල හරහා දැනුම්දීමේ සේවාව, ලංකාසෙක්‍යු පද්ධතිය විසින් දැනට ආයෝජකයින්ට ලබා දී ඇති සේවාවන් වන මුද්‍රිත ප්‍රකාශයන් මගින් සිදු කෙරෙන තහවුරු කිරීම්වලට සහ ගිණුම් ශේෂ හා ගනුදෙනු පිරික්සීමේ අන්තර්ජාල පහසුකම (Online Viewing Facility) ට අතිරේකව ලබාදෙන සේවාවකි.
Video Story