සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවයට මහ බැංකුවෙන් පියවර රැසක් VIDEO

    November, 29, 2016

    රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉහළ අවධානයකින් හා සක්‍රීය ලෙස කටයුතු කරනු ලබන මහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද පැවති මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ කරුණු දැක්වීය.

    “රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පූර්ව ලංසු හමුවීම් සංවිධානය කර තිබෙනවා. ඕනෑම බැඳුම්කර වෙන්දේසියකට පෙර ඔවුන් සියලූම ප්‍රාථමික අලෙවිකරුවන්ට ඒ සඳහා ආරාධනය කරනු ලබනවා. එහිදී රජයේ ණය අවශ්‍යතාවය, වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ලබන ප්‍රමාණය ඇතුළු අනෙකුත් අදාළ තොරතුරු පිළිබඳ ඔවුන් දැනුවත් කරනු ලබනවා. මෙය මෙම වසරේ ජූලි මාසයේ සිට ආරම්භ කරනු ලැබූවක්.“

    https://www.youtube.com/watch?v=ZTKJMDOMx1o&feature=youtu.be

    “මේ අතර ජූනි මාසයේ සිට තවත් තීරණයක් ගනු ලැබුවා. ඔට අනුව වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ලබන ප්‍රමාණයට අමතරව කිසිදු ලංසුවක් භාර ගන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල දී රජය බලාපොරොත්තු වන මට්ටමට වඩා වැඩි පොළියත් තිබෙන විට වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් භාර ගත හැකියි. කෙසේ වෙතත් ඉදිරිපත් කළ ප්‍රමාණයට වඩා වැඩි ගණනක් කිසිදු විට අනුමත කරන්නේ නැහැ.“

    “මීට අමතරව බ්ලූම්බර්ග් වෙළෙඳ හා වෙළෙඳ වාර්තාකරණ පද්ධතිය හඳුන්වා දෙනු ලැබුවා. ඒ වගේම වෙන්දේසි කැලැන්ඩරයක් හඳුන්වා දුන්නා. සියලූම වෙළෙඳපොළ සහභාගීකරුවන්ට ඉදිරියේ දී පැවැත්වීමට නියමිත වෙන්දේසි පිළිබඳ තොරතුරු එමඟින් ලබා ගත හැකියි.“

    “ඉදිරියේ දී බැඳුම්කර වෙළෙඳපොළ සම්බන්ධයෙන් වඩාත් වැදගත් කටයුත්තක් ලෙස ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පද්ධතියක් හඳුන්වාදීමට කටයුතු කරනවා. CCP බේරුම්කරණ පහසුකම් සමන්විත බැඳුම්කර නිෂ්කාෂණාගාරයක් හඳුන්වා දෙනවා. මෙම කටයුතු තුළින් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය ඉතා ඉහළ මට්ටමකට ගෙන එනු ලබනවා.“

    “දෙවනුව වඩා වැදගත් කරුණ වන්නේ නව වෙන්දේසි නියාමනයන් වැඩිදියුණු කිරීමයි. ඒ වෙනුවෙන් මහ බැංකුවේ සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ දායකත්වය ලබා ගන්නවා.“

    මේ අතර සේවක අර්ථ සාධක අරමුදල බැඳුම්කර වෙළඳපොළ කටයුතු සඳහා පසුගිය ඔක්තෝබර් අවසානයේ සිට සහභාගී වන්නේ ප්‍රාථමික වෙන්දේසිවලට පමණක් බවත්, ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු තුළින් එය ඉවත් වන බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැවසීය. මේ තත්ත්වය තුළ සේවක අර්ථ සාධක අරමුදල් ආයෝජන සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ නිම වන තෙක් රජයේ බැංකුවල ස්ථාවර තැන්පතුවල පමණක් ආයෝජනය කිරීමට එම අරමුදල් යොදා ගන්නා බව මහ බැංකු අධිපතිවරයා පැවසූ අතර නියෝජ්‍ය මහ බැංකු අධිපති එස්. ලංකාතිලක මහතා කියා සිටියේ පවතින වෙළෙඳපොළ තත්ත්වය තුළ අර්ථ සාධක අරමුදල් කොටස් වෙළෙඳපාළ ආයෝජනය ද මේ වන විට අත්හිටුවා ඇති බවයි. තවද CCTV, පටිගත කිරීමේ පද්ධතියක්, ගනුදෙනු භාර ගැනීම අදාළ පුද්ගලයින් වෙත නිල වශයෙන් ලබා දී ඇති ජංගම දුරකතන මඟින් පමණක් සිදු කිරීම වැනි කටයුතු සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධයෙන් යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.