සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ප්‍රාග්ධන වෙළෙඳපොළ පාර්ශවකරුවන් සමඟ අඛණ්ඩව සංවාදයක

    June, 30, 2020

    ප්‍රාග්ධන වෙළෙඳපොළට සම්බන්ධ සියළුම පාර්ශවකරුවන් සමග අඛණ්ඩ සංවාදයක් පවත්වා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා අනෙකුත් කොමිෂන් සභා සාමාජිකයින් සමඟ ලංකා වාණිජ මණ්ඩලය, නීති සමාගම් සහ කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයන් සමග රැස්වීම් කිහිපයක් පසුගියදා පවත්වන ලදී. 2020 ජනවාරි මාසයේදී සභාපති ධුරයට පත්වීමෙන් පසු සභාපතිවරයා විවිධ පාර්ශවකරුවන් සමඟ ආරම්භ කළ රැස්වීම් මාලාවේ කොටසක් ලෙස මෙම සාකච්ඡා පැවැත්විණි.

    COVID-19 වෛරසය (coronavirus) පැතිරීමේ අවදානම අවම කිරීම සඳහා රජය විසින් පනවනු ලැබූ ඇඳිරි නීතිය හේතුවෙන් කොටස් වෙළෙඳපොළ විවෘත කිරීමට නොහැකිවීම පිළිබඳව සභාපතිවරයා රැස්වීම්වලදී නියෝජිතයින්ට විස්තර කළේය. අනාගතයේ දී මෙවැනි තත්ත්වයන් තුළ මෙහෙයුම් දුෂ්කරතා ඇති නොවන බව සහතික කිරීම සඳහා, වෙළෙඳපොළේ සියළුම මූලික ක්‍රියාකාරකම් ඩිජිටල්කරණය කිරීම සඳහා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) සාමාජිකයින්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත් කළ බවත්,  එම  ඩිජිටල්කරණ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු වෙමින් පවතින බවත්, මාස තුනක් ඇතුළත එය ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය. සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් ආයෝජකයින්ට පූර්ණ ඩිජිටල්කරණ අත්දැකීමක් ලබා දීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීම මෑතකදී අනුමත කරන ලදී. මෙම පරිවර්තනය මගින් කොටස් තැරැව්කරුවන්ට ඔවුන්ගේ සේවා සැපයීම ශක්තිමත් කිරීමට, කාර්යක්ෂමතාව වැඩි කිරීමට සහ වැඩි ජවයක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

    වාණිජ මණ්ඩල නියෝජිතයින්ගේ හමුවේදී එම නියෝජිතයන් පෙන්වා දුන්නේ, ලයිස්තුගත කිරීම සඳහා සමාගම් දිරිමත් කිරීමේ අවශ්‍යතාව මෙන්ම ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රතිපත්තියට අදාළ කරුණු තීරණය කිරීම සඳහා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, කොළඹ කොටස් හුවමාරුව, ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ කර්මාන්තයේ නියුතු අනෙකුත් ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයින් ඇතුළු ප්‍රාග්ධන වෙළෙඳපොළ පාර්ශවකරුවන්ගෙන් සැදුම්ලත් උසස් කමිටුවක් පිහිටුවීමේ අවශ්‍යතාවයි.

    සභාපතිවරයා මෙම යෝජනා පිළිගත් අතර, ලයිස්තුගත කිරීම සඳහා සමාගම් ආකර්ෂණය කර ගැනීමේ අවශ්‍යතාව සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් අගය කරන බවත්, විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) ලැයිස්තුගත කිරීමට අපේක්ෂා කරන බවත්, මේ වන විටත් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ඒ සඳහා යම් යම් පියවර ගෙන ඇති බවත් නියෝජිතයන් වෙත පැහැදිළි කළේය. ඒ අනුව ප්‍රධාන පුවරුවේ මෙන්ම දිරිසවි පුවරුවේ ලයිස්තුගත කිරීමේ අවශ්‍යතා සම්බන්ධ සංශෝධන අනුමත කර ඇති අතර නුදුරු අනාගතයේ දී ඒවා බලාත්මක වනු ඇති බවත් පෙන්වා දෙන ලදී. ලයිස්තුගත කිරීම සඳහා සුදුසුකම් තීරණය කිරීමේදී විකල්ප නිර්ණායක ලෙස මෙම නව නීති මඟින් ආදායම, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය සහ ධනාත්මක මෙහෙයුම් මුදල් ප්‍රවාහයන් හඳුන්වා දී ඇත. මෙමඟින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, තොරතුරු තාක්‍ෂණ සමාගම් මෙන්ම ආහාර සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා දෙන විවිධ ව්‍යාපාර ආකෘතීන් ඇති සමාගම්වලට තම ව්‍යාපාර ලැයිස්තුගත කර ගැනීමට හැකියාව ලැබේ.

    නීති ආයතනවල නියෝජිතයින් තර්ක කළේ දැනට ක්‍රියාත්මක වන ඇතැම් නියාමන ක්‍රියාමාර්ග නව ලයිස්තුගත කිරීම්වලට බාධාවක් ලෙස දකින අතර සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ඇතැම් විට නීති  හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී තරමක් දැඩි වී ඇති බවයි. වෙළෙඳපොළේ අඛණ්ඩතාව සහතික කිරීම සඳහා ශක්තිමත් නියාමන පද්ධතියක් තිබීමේ අවශ්‍යතාවය සභාපතිවරයා ඔවුන්ට පැහැදිලි කළ නමුත්  සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව නියාමන ක්‍රියාවලියේදී ඉතා ප්‍රායෝගික ප්‍රවේශයක් අනුගමනය කරනු ඇති බවත්, ඔවුන් දැඩි ලෙස සළකන විශේෂිත නීති හෝ රෙගුලාසි වේ නම් එවන් ඕනෑම දෙයක් පෙන්වා දෙන ලෙස නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය. කොමිෂන් සභාව විසින් මේ වන විට  නව සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත හා අසාමුහීකරණ පනත සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවත් එහි නිර්දේශ ලබන මස අවසානයට පෙර මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරන බවත් සභාපතිවරයා ඔවුන්ට දන්වා සිටි අතර එහි බලතල ක්‍රියාත්මක කිරීමට ඉක්මනින් පියවර ගන්නා බවට සහතික විය. හඳුන්වාදී ඇති නව නීති සම්බන්ධයෙන් මෙන්ම වෙනත් නියාමන කටයුතු සම්බන්ධයෙන් ඔවුන් සතුව ඇති නිර්දේශ ඉදිරිපත් කරන ලෙසද නීති සමාගම්වලින් ඉල්ලා සිටියේය.

    කොටස් තැරැව්කාර සමාගම් සමඟ පැවති සාකච්ඡාවලදී සභාපතිවරයා කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය සම්බන්ධයෙන් සිදු වෙමින් පවතින කාර්යයන් පැහැදිලි කළ අතර සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව ඒකාබද්ධ කමිටුවේ කටයුතු සඳහා අඛණ්ඩ සහයෝගය ලබාදෙන ලෙසත්, ක්‍රියාකාරීව සහභාගී වන ලෙසත් තැරැව්කාර සමාගම්වලින් ඉල්ලා සිටියේය. වෙළෙඳපොළ පුළුල් කිරීම සහ සාමාන්‍ය ජනතාව අතර දැනුවත්භාවය ඇති කිරීම සඳහා පිහිටුවා ඇති අනෙකුත් ඒකාබද්ධ කමිටුව වෙතද ඔහුගේ අවධානය යොමු වූ අතර, මෙම කටයුතු සඳහා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව සමඟ සම්බන්ධවෙමින් වඩා  ප්‍රබල කාර්යභාරයක් ඉටු කරන ලෙස කොටස් තැරැව්කාර සමාගම්වලින් ඉල්ලා සිටියේය.

    මෙම රැස්වීම් වලදී මතු කරන ලද ප්‍රශ්ණ සඳහා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් ලබා දී ඇති පැහැදිළි කිරීම් නියෝජිතයින් අගය කළ අතර වෙළෙඳපොළ සංවර්ධනය සම්බන්ධයෙන් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වෙත වැඩිදුර යෝජනා ඉදිරිපත් කිරීමට ඔවුන් දිරිමත් කරන ලදී. සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු සාකච්ඡා කිරීම සඳහා පාර්ශවකරුවන් සමඟ නිරන්තරයෙන් කටයුතු කරන බව ද ඔවුන්ට දන්වා සිටියේය.