සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අංශය දිරිමත් කිරිමට කොමර්ෂල් බැංකුව ව්‍යාපාරික ණයවල පොලී අනුපාත අඩු කරයි

    June, 4, 2019

    මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා තවදුරටත් සහයෝගය ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ලබාදී තිබෙන ව්‍යාපාරික ණයවල පොලී අනුපාත පහළ දමන බව නිවේදනය කර තිබේ.

    මේ අනුව, රුපියල් මිලියන 250 ක් දක්වා ණය ලබාගන්නා බැංකුවේ ‘බිස් ක්ලබ්’ සාමාජිකයින්ට හා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ආයතන වලටත් 13%කින් ආරම්භ වන වාර්ෂික පොලී අනුපාත වලට ණය ලබාදීමට කටයුතු කරන බව බැංකුව සඳහන් කරයි.

    මෙම පොලී අනුපාත අඩුකිරීම හඳුන්වාදී තිබෙන්නේ සාර්ව ආර්ථික අභියෝග වලට මුහුණ දී තිබෙන ව්‍යාපාර වලට සහයෝගය ලබාදීමට පමණක් නොවන අතර සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ ගනුදෙනුකරුවන් දිගු කාලයක් පුරා බැංකුව සමග තිබෙන පක්ෂපාතී බැඳීම ඇගයීමද මෙම වැඩසටහනේ අරමුණකි. මෙම බැඳීම නිසාම කොමර්ෂල් බැංකුව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ගේ ප‍්‍රියතම බැංකුව බවට පත්වී තිබේ.

    ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අංශයට වැඩිම ණය ලබාදුන් බැංකුවක් ලෙස කැපී පෙනෙන කොමර්ෂල් බැංකුව ඉදිරියේදී මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා තවත් තරඟකාරී පොලී අනුපාත සහ නැවත ගෙවීමේ වැඩසටහන් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.

    ණය ලබාගන්නාගේ මුදල් ලැබීම් වලට ගැලපෙන සහන කාලයක් සහිතව ණය නැවත ගෙවීම සඳහා අවුරුදු 05 ක් දක්වා කාලයක්, තරගකාරී පොලී අනුපාත, තෝරාගත් පහසුකම් සඳහා ව්‍යාපෘති වාර්තා අවශ්‍ය නොවීම, අයදුම්කරුගේ අවශ්‍යතාවයට ගැලපෙන ණය සීමාවන්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා පවත්වන වැඩමුළු සහ සම්මන්ත‍්‍රණ සඳහා සහභාගීවීමේ අවස්ථාව කොමර්ෂල් බැංකුවේ ව්‍යාපාරික ණය පහසුකම් සඳහා හිමිවේ.
    මෙම ණය සඳහා අදාළ වන පොලී අනුපාත අඩුකිරීම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රය ජාතික ආර්ථිකයට තිබෙන වැදගත් දායකත්වය අප විසින් හඳුනාගෙන තිබෙන අතර එම අංශය වර්ධනය කිරීම සඳහා අප විසින් සෑමවිටම සහයෝගය ලබාදෙනවා. අද සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයක් අනාගතයේ විශාල ව්‍යාපාරයක් විය හැකියි. මෙම අභියෝගාත්මක පරිසරය තුළදී මෙම ව්‍යාපාර වලට බැංකුව විසින් සහයෝගය ලබාදෙන්නේ මේ නිසයි. පොලී අනුපාත අඩුකිරීම මගින් බොහෝ ව්‍යාපාර දිරිමත් වනු ඇතැයි අප විශ්වාස කරනවා. මේ තුළින් අනාගතයේදී බොහෝ සාර්ථක ව්‍යාපාර ගොඩ නැගෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.’

    මෙහිදී, අළුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ ව්‍යාපාරයක් මිලදී ගැනීමට, නිෂ්පාදන සහ සේවා පදනම් කරගත් ව්‍යාපාරවල ස්ථාවර වත්කම්වල ආයෝජනය කිරීමට සහ කාර්ය ප‍්‍රාග්ධන අවශ්‍යතා සඳහා, ව්‍යාපාර පුළුල් කිරීමට, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා, ව්‍යාපාර විවිධාංගීකරණය කිරීමට සහ ආනයන සහ අපනයන කටයුතු සඳහා ණය ලබාගත හැකිබව බැංකුව සඳහන් කරයි.

    කොමර්ෂල් බැංකුව විසින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබාදීමෙන් ඔබ්බට ගොස් එකිනෙකා මුණගැසී සාකච්ඡd කිරීමට සහ තවත් ප‍්‍රතිලාභ රැසක් ලබාගත හැකි පරිදි ‘බිස්නස් ක්ලබ්’ වැඩසටහන 2017 වසරේදී ආරම්භ කළේය. මෙම බිස්නස් ක්ලබ් ගනුදෙනුකරුවන්ට බැංකුව මගින් විශේෂ සහන හිමිවන අතර ඔවුන්ටම වෙන්වූ වෙනම VISA ඩෙබ්ට් කාඞ්පතක් බැංකුව විසින් ලබාදෙනු ඇත. එසේම, බැංකුවේ අන්තර්ජාල බැංකු කටයුතු සමග නොමිලේ ලියාපදිංචි වීමේ සහ නව ව්‍යාපාර සංවර්ධන කටයුතු පිළිබඳ ආර්ථික තොරතුරු, කෙටි පණිවුඩ සහ ඊ-මේල් මගින් ලබාගැනීමේ අවස්ථාවද මෙම ගනුදෙනු කරුවන්ට හිමිවේ. මේ අතරම, මෙම සාමාජිකයින්ට නොමිලේ මූල්‍ය උපදේශන සේවා ලබාගැනීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදෙන අතර තම ව්‍යාපාරික කටයුතු වර්ධනය කර ගැනීමට උපකාර කරගත හැකි සුවිශේෂී වූ ව්‍යාපාරික සමුළු වලට සහභාගීවීමේ අවස්ථාවද හිමිවේ.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම අට වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 830 ක් සහ බැංකු ශාඛා 266 ක් පවත්වාගෙන යයි. 2016 සහ 2017 යන වසර වලදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන රැසක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව 2018 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 40 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී.