සූර් වූ රියැදුරන්ගෙන් පොලීසිය දිනකට රු. මිලියන 5ක ආදායමක් උපයයි

    August, 26, 2019

    බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ක්‍රියාවට නංවන ලද විශේෂ මෙහෙයුම තුළින් සිකුරාදා (23) උදෑසන 6 දක්වා ගත වූ දින 49 පුරාවට බීමත් රියැදුරන් 10,054 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍ය හමුවක දී (23) කියා සිටියේය.

    මෙම රියැදුරන් අතරින් මගී ප්‍රවාහන වාහනවල රියදුරන් මේ වන විට අධිකරණයෙන් වැරදිකරු වු පසුව එම රියදුරන්ගේ බලපත්‍රය අවලංගු කිරීමට යටත් වන බවත්, සෙසු වාහනවල රියැදුරන් අධිකරණයෙන් වැරදිකරු වු පසුව ඔවුන්ගේ රියදුරු බලපත්‍රය උපරිම වසරක් දක්වා වු කාලයකට අත්හිටුවනු ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    මෙම බීමත් රියදුරන් 10,054 දෙනා අධිකරණයේ වැරදිකරුවන් වු පසුව එක් අයෙකුට අවම වශයෙන් රුපියල් 25, 000 ක දඩයක් නියම වන බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ අනුව දින 49 මෙහෙයුමෙන් අවම වශයෙන් රුපියල් මිලියන 251 දඩයක් නියම වන බවත් කියා සිටියේය.

    මේ අනුව ගෙවීගිය දින 49 පුරාවට බීමත් රියැදුරන්ගේ දඩ මුදල්වලින් පොලිසියට ලැබෙන දෛනික සාමාන්‍ය ආදායම රුපියල් මිලියන 5 ඉක්මවනු ඇත.

    මෙම මෙහෙයුම නැවත දැනුම් දෙනතුරු බලාත්මක කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.