සෙරීන් පැවිලියන්ස් ලොකු පුටුව ලොකුහෙට්ටිට බෑ

    March, 26, 2014

    වාද්දූවේ පිහිටි සෙරීන් පැවිලියන්ස් හෝටලයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙසින් අනුර ලොකුහෙට්ටි මහතා කටයුතු කිරීම වලක්වමින් කොළඹ දිසා අධිකරණය විසින් අද නියෝගයක් නිකුත් කළේය.

    සෙරීන් පැවිලියන්ස් හෝටලයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී අනුර ලොකුහෙට්ටි විසින් තමාව ධූරයෙන් පහකිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් පනවන ලෙස කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ වාණිජ මහාධිකරණය විසින් පසුගිය 19 වනදා ප්‍රතික්ෂේප කළ අතර ගාමිණී නෙත්තිකුමාර සහ අනුර ලොකුහෙට්ටි මහතා විසින් සෙරීන් පැවිලියන්ස් හෝටලයේ අධ්‍යක්ෂකවරුන් ලෙස නම් කරනු ලබන තවත් පුද්ගලයින් දෙදෙනෙකු පත් කිරීම වළක්වාලමින් ඉකුත් දෙසැම්බරයේදී අධිකරණය විසින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.

    මෙම හෝටලයේ ප්‍රධාන විධාක නිළධාරී අනුර ලොකුහෙට්ටි යන අයට අයිතිව පැවතී ඇත්තේ හෝටලයේ ඉතා සුළු කොටස් ප්‍රමාණයක් වුවද ක්ලියිව් ලීච් නමැති හෝටලයේ මුල්හිමිකරු මෙන්ම වැඩි කොටස් ප්‍රමාණයක් හිමි සෙසු හිමිකරුවන් අතර ඇතිවූ මතභේදකාරී තත්ත්වයක් ගැටුමක් බවට පත්වීම මෙලෙස අධිකරණය දක්වා පැමිණ ඇත.

    හෝටලයේ හිමිකරු ක්ලියිව් ලීච් මීට පෙරාතුව අද දෙරණට කියා සිටියේ මීට වසර 20 ට පමණ ඉහතදී අනුර ලොකුහෙට්ටිගේ වෙනත් හෝටලයක සේවය කළ අයෙකු බව හා තමන් හා ඔහු අතර ඇතිවූ මිත්‍රත්වය නිසා 30%ක කොටස් ප්‍රමාණයක් ඔහුට ලබාදී මෙම ව්‍යාපාරය ආරම්භ කළ බවයි.

    කෙසේවෙතත්, පසුව ඔහු විසින් කරන ලද අක්‍රමිකතා හා අත්තනෝමතික ක්‍රියා කළාපය හේතුවෙන් මෙන්ම හෝටල් කළමණාකාරීත්වය සඳහා ඔහුගේ අභිමතය වෙනුවෙන් පුද්ගලයින් පත්කිරිම හේතුවෙන් මතභේදකාරී තත්ත්වයක් උද්ගත වූ බව ලීච් මෙහිදී පෙන්වා දී තිබුණි.