සෙලාන් බැංකුව Lean Six Sigma Yellow Belts සහ Green Belts සහතික පිරිනමයි  

    July, 26, 2024

    සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා Lean Six Sigma පුහුණුව සාර්ථක ලෙස අවසන් කළ පිරිසකට සහතික පිරිනැමීමට කටයුතු කළේ ය. ඒ යටතේ Lean Six Sigma Yellow Belts 9 ක් සහ Lean Six Sigma Green Belts 7 ක් පිරිනමන ලද අතර, මෙය සෙලාන් බැංකුවේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි.

    මෙම සහතික පිරිනැමීමේ උත්සවය පසුගියදා පැවැත්වුණු අතර, එම අවස්ථාවට සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) මලික් වික්‍රමනායක, සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ඇස්ට්‍රිඩ් ඉද්දමල්ගොඩ,  ජ්‍යෙෂ්ඨ කළමනාකරු (පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානය) සංජය වල්පිට සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රති-ඉංජිනේරුකරණය) රැන්මෝ වැන්ඩොට් යන මහත්වරු සහභාගී වූහ.

    2019 වසරේදී Yellow Belt මට්ටමින් Lean Six Sigma පුහුණුව ආරම්භ වූ අවස්ථාවේදී සෙලාන් බැංකුව තම අංශ රැසක මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීමේ අරමුණින් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාවට නැංවී ය. වේගවත් පාරිභෝගික සේවය, කඩදාසි භාවිතය අවම කිරීම වැනි පරිභෝජන භාවිතයන් ප්‍රශස්ත කිරීම, දෝෂ අවම කිරීම තුළින් සේවා ප්‍රමිතිය ඉහළ නැංවීම සහ තිරසාර ව්‍යාපාර වර්ධනයක් සඳහා කාර්ය මණ්ඩලයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වැනි අරමුණු ඔස්සේ එම ව්‍යාපෘති ක්‍රියාවට නංවන ලදී.

    සෙලාන් බැංකුවේ සහතිකලත් ප්‍රවීණ Lean Six Sigma Master Black Belt සහ Lean Six Sigma Black Belt පුහුණුකරුවන් යටතේ ක්‍රියාත්මක වන මෙම ක්‍රියාවලිය දැඩි විධිවිධාන සහ ගුණාත්මක නියාමනයන්ට අනුකූලව පවත්වාගෙන යනු ලැබේ. Yellow Belt පුහුණු කටයුතු තුළින් අත්කරගන්නා ලද සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙනයමින් සෙලාන් බැංකුව Green Belt පුහුණුවද හඳුන්වා දීමට කටයුතු කළ අතර, පසුගියදා පැවති උත්සවයේදී එම Green Belt වැඩසටහනේ සමාරම්භක කණ්ඩායම මෙහෙයුම් විශිෂ්ටත්ව වැඩසටහන යටතේ සහතික ලැබූහ.

    සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) මලික් වික්‍රමනායක මහතා, වැඩසටහනේ මූලික අරමුණු සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේ ය. “Lean Six Sigma Yellow සහ Green Belt සහතිකකරණයන් තුළින් අපගේ කණ්ඩායම සැබෑ වෙනසක් සඳහා පෙරමුණ ගන්නා ගාමක බලවේගයක් බවට පත්වෙනවා. මෙමගින් අපට බැංකුව තුළ මෙහෙයුම් විශිෂ්ටත්ව වැඩසටහන ක්‍රියාවට නැංවීමටත් දැනුම හුවමාරු කරගැනීමටත් හැකියාව ලැබුණා.”

    තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමනායක මහතා, Lean Six Sigma සහතිකකරණය පාරිභෝගික අත්දැකීම වැඩිදියුණු කිරීම මෙන්ම කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ගේ වෘත්තීය ජීවිත වැඩිදියුණු කිරීමටද උපකාරී වන බව පෙන්වා දුන්නේ ය. මෙම වැඩසටහන් යටතේ සහතික ලබන පුද්ගලයන්ට විශේෂයෙන්ම අපතේ යාම් අවම කිරීම සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම වැනි අංශවලට අදාළව ගැටලු විසඳීම සඳහා මනා දැනුමක් හා පුහුණුවක් හිමි වේ. මෙමගින් ක්‍රියාවලි කාර්යක්ෂම කරමින් සහ තිරසාරත්වය ප්‍රවර්ධනය කරමින් පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමට හැකියාව ලැබේ.

    මේ ආකාරයට Lean Six Sigma Yellow Belts සහ Lean Six Sigma Green Belts පිරිනැමීම, විශිෂ්ටත්වය, නවෝත්පාදන සහ නිරන්තර දියුණුව ඔස්සේ ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා සෙලාන් බැංකුව දරන උත්සාහයට මනා සාක්ෂියකි.