• Ada Derana BIZ Sinhala
  • DEPUTY CHIEF EXECUTIVE OFFICER
  • RAMESH JAYASEKARA
  • seylan bank
  • sri lanka

සෙලාන් බෑන්ක් පීඑල්සී හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලෙස රමේෂ් ජයසේකර පත්කෙරේ

September, 8, 2022

2022 සැප්තැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, සෙලාන් බෑන්ක් පීඑල්සී (Seylan Bank PLC) හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලෙස රමේෂ් ජයසේකර මහතා පත්කර තිබේ. මීට පෙර සෙලාන් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කළ ඒ මහතා, 2012 වසරේ නොවැම්බර් මාසයේ සිට සෙලාන් ඩිවලොප්මන්ට් පීඑල්සී (Seylan Developments PLC) හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

2011 වසරේදී ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස සෙලාන් බැංකුව සමග එක් වූ රමේෂ් ජයසේකර මහතා 2016 වසරේදී ප්‍රධාන අවදානම් නිලධාරී තනතුරට පත් වූ අතර, 2018 වසරේ සිට 2019 වසර දක්වා නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ආයතනික) බැංකුකරණය තනතුර දැරී ය. 2020 වසරේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුර වෙත උසස් වීම් ලැබූ ඒ මහතා, 2021 වසරේදී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස පත්කරන ලදි.

සෙලාන් බෑන්ක් පීල්සී සමග එක්වීමට පෙර ඒ මහතා බහරේනය පදනම් කරගත් ප්‍රධාන පෙළේ ප්‍රංශ බැංකුවක් වන BNP Paribas හි මැදපෙරදිග කලාපය (බහරේන්, සෞදි අරාබිය, කුවේට්, කටාර්, ඩුබායි සහ සයිප්‍රස්) සඳහා නියෝජ්‍ය කලාපීය මූල්‍ය පාලක ලෙස සේවය කළේ ය. එමෙන්ම ඒ මහතා HSBC Sri Lanka හි නේවාසික කළමනාකරු (මූල්‍ය හා සැලසුම්) සහ KPMG Sri Lanka හි විගණන කළමනාකරු ලෙසද සේවය කර තිබේ. බැංකුකරණය, ක්‍රමෝපායික සැලසුම්කරණය, මූල්‍ය කළමනාකරණය, අවදානම් සහ විගණනය යනාදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වසර 20 කට අධික දේශීය හා ජාත්‍යන්තර පළපුරුද්දක් ඒ මහතා සතු ය.

රමේෂ් ජයසේකර මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහකාර සාමාජිකයෙකු වන ඒ මහතා එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ සහ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකත්වයද දරයි.