සෙලින්කෝ ලයිෆ් තට්ටු 05 කින් සමන්විත නෙල්ලිඅඩි හරිත ශාඛාව විවෘත කරයි

    September, 21, 2020

    යාපනයේ සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් ඉඩමක ඉදිවූනු තට්ටු 05 කින් සමන්විත හරිත ගොඩනැගිල්ල සමාගමේ නෙල්ලිඅඩි ශාඛාව ලෙස පසුගියදා විවෘත කරන ලදි.

    මෙම පරිසර හිතකාමී ගොඩනැගිල්ල අංක. 293, පේදුරුතුඩුව පාර, නෙල්ලිඅඩි ස්ථානයේ පිහිටා තිබෙන අතර එහි වර්ග අඩි ප‍්‍රමාණය 8,692 ක්වේ. සමාගම විසින් තමන්ටම අයත් ඉඩමක ඉදිකළ 38 වන සෙලින්කෝ ලයිෆ් ශාඛාව මෙය වන අතර වඩමාරච්චි කළාපයේ සමාගමට අයත් ඉඩමක ඉදිකළ පළමු ශාඛාව වන්නේද මෙයයි.

    සමාගම විසින් මෙම ශාඛාව ස්වභාවික ආලෝකය උපරිම ලෙස ලැබෙන පරිදි සැලසුම් කර තිබෙන අතර එය සම්පූර්ණයෙන්ම සූර්යාලෝකය මගින් බලශක්තිය උත්පාදනය කරගනී. එසේම, මෙම ගොඩනැගිල්ලටම අයත් මල ප‍්‍රතිචක‍්‍රීයකරණ පද්ධතියක්ද ස්ථාපිත කර ඇත. මීට අමතරව, මෙම ගොඩනැගිල්ලේ බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුතු නවතම විදුලි පහන් සහ වායු සමීකරණ පද්ධතියක් සවිකර තිබෙන අතර වැසි ජලය රැස්කර ගන්නා පහසුකම්ද ගොඩනගා තිබේ.

    මෙම ගොඩනැගිල්ල මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් පිළිගත් ‘හරිත ගොඩනැගිලි’ තත්ත්වයන්ට ගැලපෙන පරිදි ඉදිකර තිබෙන අතර මෙම ගොඩනැගිල්ලටම වෙන්වූ වාහන නතර කිරීමේ අංගනයක් තිබේ. එසේම, 60 දෙනෙකු දක්වා එකවර අසුන්ගත හැකි බහුකාර්ය කාමරයකින් සහ සෝපානයකින් සමන්විත මෙම ගොඩනැගිල්ල හරිතවත් බව වැඩිකරන ලෙස නිර්මාණය කර තිබේ. කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ වුවද පැමිණි අභියෝගයට මුහුණ දෙමින් මෙම ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබා මාස 16 ක් ඇතුළත එය විවෘත කිරීමට හැකිවීම කැපී පෙනෙන කාරණයකි.

    මෙම නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සෙලින්කෝ ලයිෆ් සභාපති, රාජ්කුමාර් රෙන්ගනාදන් මහතා සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නියෝජිතයින් පිරිසක් සහභාගී විය.

    පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී සමාගම විසින් සිය යාපනය ශාඛාවට යාබදව තවත් තට්ටු 05 ක ‘නෝර්ත් වින්ග්’ ගොඩනැගිල්ල විවෘත කරන ලදී. වර්ග අඩි 17,290 ක් පුරා විහිදී ඇති මෙම ගොඩනැගිල්ල කොළඹ පිහිටි සමාගමේ ප‍්‍රධාන කාර්යාලය හැරුණුවිට සිදුකර තිබෙන දෙවැනියට විශාලතම ආයෝජනය ලෙස කැපී පෙනේ.

    මීට අමතරව, මේ වසරේ ජනවාරි මාසයේදී සමාගම විසින් තමන්ටම අයත් ඉඩමක ඉදිකළ සිය 37 වන ශාඛාව ලෙස මාලඹේ ශාඛාව විවෘත කළ අතර දිවුලපිටිය සහ පිළියන්දල නගරවලද හරිත ශාඛාවන් ඉදිකරමින් සිටී. එසේම, සමාගම විසින් සිය මීගමුව ශාඛාවේ ධාරිතාවයද මේ වනවිට වැඩිකරමින් පවතී.

    සමාගම විසින් මේ වනවිට අනුරාධපුරය, ත‍්‍රිකුණාමලය, යාපනය, මඩකළපුව, මහනුවර, කළුතර, කුරුණෑගල, ගම්පහ, මාතර, ගාල්ල, තිස්සමහාරාමය, මීගමුව, රත්නපුරය, කොටහේන, ගල්කිස්ස සහ වැල්ලවත්ත යන ස්ථානවල සමාගමට අයත් ශාඛා ගොඩනැගිලි පිහිටුවා තිබෙන අතර මින් බොහෝමයක් සඳහා මේ වනවිට විදුලිය ලබාගන්නේ සූර්ය බලශක්තිය මගිනි. මේ අතර, නව පරිසර හිතකාමී ආකෘතියට අනුව සමාගම විසින් හොරණ, පානදුර, වෙන්නප්පුව, බණ්ඩාරවෙල, හලාවත, කඩවත, යාපනය සහ මාලඹේ ශාඛා ගොඩනැගිලි ඉදිකර තිබේ.

    මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වැඩිම ශාඛා ජාලය වන ශාඛා 250 කට වැඩි ප‍්‍රමාණයක් පවත්වාගෙන යන සෙලින්කෝ ලයිෆ් මෙරට දිස්ත‍්‍රික්ක 25 ආවරණය වන පරිදි ගම් සහ නගර 142 ක ශාඛා පවත්වාගෙන යයි.

    සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 32 හි දෙවන අර්ධය පුරා මෙරට ජීවීත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ. 2020 වසරේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වටිනාම ජීවිත රක්ෂණ සන්නාමය ලෙසත් ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 14 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසත් සෙලින්කෝ ලයිෆ් සමාගම සම්මානයට පාත‍්‍ර විය. එසේම, 2019 වසරේදී ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශී‍්‍ර ලංකා ශාඛාව විසින් මෙරට ගෞරවණීයම සමාගම් 10 ලැයිස්තුවටද සමාගම ඇතුළත් කළ අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හයවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීමේදී සමස්තයක් වශයෙන් මෙරට ප‍්‍රධානතම සමාගම් 30 අතුරින් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලද අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත.

    සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නවෝත්පාදනය, නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ මිනුම් ලකුණක් ලෙසට පිළිගැනීමට ලක්වේ.

    සේයාරු සටහන - සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති, ආර්. රෙන්ගනාදන් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ, තුෂාර රණසිංහ මහතා (ඉහළ, දකුණේ සිට දෙවැන්නා සහ වමේ කෙළවරේම) නෙල්ලිඅඩි නව හරිත ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වී සිටින අයුරු.