සෙලින්කෝ ලයිෆ් ‘වෙළඳපොළ ව්‍යාප්තිය’ සඳහා 2019 ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා රන් සම්මානය දිනයි

    January, 8, 2020

    සෑම ශ‍්‍රී ලාංකේය පවුලක්ම ජීවිත රක්ෂණය තුළින් ආරක්ෂා කිරීමේ සෙලින්කෝ ලයිෆ් සමාගමේ දැක්ම සඵල කර ගැනීමට සමාගම විසින් දක්වා තිබෙන සාර්ථකත්වය නැවත වරක් තහවුරු කරමින් ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ 2019 ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී (NBEA) මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා ‘දේශීය වෙළඳපොළ තුළ ව්‍යාප්තිය’ සඳහා රන් සම්මානය දිනාගැනීමට සමත්විය.

    16 වන වරටත් දෙසැම්බර් 13 වනදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී රක්ෂණ අංශයේ ව්‍යාපාරික විශිෂ්ටත්වය සඳහා ලබාදෙන රිදී සම්මානය දිනාගැනීමටද සෙලින්කෝ ලයිෆ් සමාගම සමත්විය.

    ‘සමාගම ආරම්භයේ සිටම සෙලින්කෝ ලයිෆ් විසින් මෙරට බහුතර ජනතාව වෙත ජීවිත රක්ෂණයේ වැදගත්කම පිළිබඳව පණිවුඩය රැගෙන ගියා. සමාගම 2004 වසරේ සිට රක්ෂණ වාරික ආදායම අනුව මෙරට විශාලතම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වී තිබෙනවා,’ යනුවෙන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, තුෂාර රණසිංහ මහතා සඳහන් කළේය. ‘අපගේ දැක්ම සඳහා වෙළඳපොළට සමීප ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා අප විසින් දිනා තිබෙන සම්මාන ගොන්නට මෙම සම්මානයත් එකතු කර ගැනීම පිළිබඳව අප අතිශයින් සතුටු වනවා.’

    ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ කර්මාන්තය තුළ වැඩිම ශාඛා සංඛ්‍යාව වන 250 කට අධික ශාඛා සංඛ්‍යාවක් සෙලින්කෝ ලයිෆ් විසින් මෙරට දිස්ත‍්‍රික්ක 25 නියෝජනය වන පරදි ගම් සහ නගර 142 ක පුහුණුව ලත් අලෙවි වෘත්තිකයින් 4000 ක පමණ කණ්ඩායමක් සමග පවත්වාගෙන යයි.

    මීට අමතරව, සමාගම සෑම වසරකම ‘ෆැමිලි සවාරි’ වැනි දැවැන්ත ප‍්‍රවර්ධන වැඩසටහන් සහ රට පුරා පවත්වන ‘වෛද්‍ය හමුව’ නොමිල වෛද්‍ය සායන පෙල මෙන්ම ඉහළ දක්ෂතාවයන් දක්වන සිසුන්ට ප‍්‍රතිලාභ ලබාදීම සඳහා මට්ටම් හතරකින් යුතු ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන තුළින් සෘජුවම දහස් ගණනක් ජනතාව සමග සම්බන්ධ වෙයි.

    ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන ලබාදීමේදී නායකත්වයේ විශිෂ්ටත්වය, ආයතනික පරිපාලනයේ විශිෂ්ටත්වය, ධාරිතාවය ගොඩනැගීමේ විශිෂ්ටත්වය, කාර්ය සාධන කළමනාකරණයේ විශිෂ්ටත්වය, දේශීය සහ ගෝලීය වෙළඳපොළ වෙත සමීපවීමේ විශිෂ්ටත්වය, ආයතනික සමාජ වගකීමේ සහ පාරිසරික තිරසාරභාවයේ විශිෂ්ටත්වය, ව්‍යාපාරික සහ මූල්‍ය ප‍්‍රතිඵලවල විශිෂ්ටත්වය යන කරුණු ඇගයීමට ලක් කරයි.

    මෙම සම්මාන ප‍්‍රදානය කිරීමට සිදුකරන විනිශ්චය කි‍්‍රයාවලියට තාක්ෂණික කමිටුවක් විසින් සිදුකරන මූලික ඇගයීමක් ද, ඉන්පසුව, තෝරා ගන්නා අයදුම්කරුවන් සම්මුඛ සාකච්ඡාවට බඳුන් කිරීම සහ සියළුම මූලික ඇගයීමේ වාර්තා සහ සම්මුඛ සාකච්ඡාවල ප‍්‍රගතිය අවසානයේ විමර්ශනය කිරීම සිදුකරයි.

    සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 31 තුළ වසර 15 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමාගම සමත්වී තිබේ. සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

    2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සම්මාන ලැබූ සෙලින්කෝ ලයිෆ් මේ වසරේදී ෂක්‍ක්‍ීඛ විසින් මෙරට ගෞරවණීයම සමාගම් 10 ලයිස්තුවට ඇතුළත් කර තිබේ. එසේම, 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් පිට පිටම හයවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සහ ස්ලිම්-නීල්සන් විසින් පිට පිටම 13 වසරක් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සමාගම සම්මානයට පාත‍්‍රකර තිබේ.

     

    සේයාරු සටහන - සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති, ආර්. රෙන්ගනාදන් මහතා (මැද) සහ අධ්‍යක්ෂවරුන් වන ඩෙවාන් කුරේ මහතා (වමේ සිට දෙවැන්නා) සහ රංග අබේනායක මහතා (වමේ කෙලවරේම) සමාගමට පිරිනැමූ ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මානයක් සමග.