සෙලින්කෝ ලයිෆ් හි තිරසර වාර්තාකරණය ACCA සම්මානයෙන් පිදුම් ලබයි

    March, 14, 2024

    The Association of Chartered Certified Accountants (ACCA) විසින් පසුගිය දා සංවිධානය කළ ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් හි 2022 වාර්ෂික වාර්තාව ‘මූල්‍ය සේවා හා රක්ෂණ’ අංශයේ හොඳම වාර්තාව ලෙස සම්මාන ලැබීය.

    අභ්‍යන්තර හා බාහිර පාර්ශවකරුවන්හට ව්‍යාපාරයේ ආර්ථික, පාරිසරික හා සමාජයීය බලපෑම් පැහැදිලිව ඒත්තු ගැන්වෙන ආකාරයෙන් ඉදිරිපත් කර ඇති වාර්ෂික වාර්තා මෙම ACCA තිරසර වාර්තාකරණ සම්මාන මගින් පිළිගැනීමට ලක් වේ. තවද, එම වාර්තා තුළින් තිරසාර සංවර්ධනයේ පරමාර්ථ කරා යාමට පිහිටුවාගන්නා ලද ව්‍යාපාර ප්‍රතිපත්ති, ඉලක්ක සහ දීර්ඝකාලීන අරමුණු ද නිරූපණය කළ යුතුයි.

    මෙම සම්මාන සඳහා තරඟ කරන වාර්ෂික වාර්තා ලකුණු ලබා ගන්නේ තම තිරසර වාර්තාකරණයට අදාළ අන්තර්ගතයන් වල පරිපූර්ණත්වය, විශ්වාසනීයත්වය හා සන්නිවේදනය යන කරුණු වලට වේ.

    සෙලින්කෝ ලයිෆ් හි මෙම සම්මානනීය වාර්ෂික වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් වින්ශ්චය මණ්ඩලය මෙසේ සඳහන් කළහ: “වාර්තාව වැඩි දියුණු කර ඇත. ෆොසිල ඉන්ධන භාවිතය ද ප්‍රබල ලෙස අඩු වී ඇත. GHG හි අඩු වීම සුවිශේෂී කාරණයකි. SDG සඳහා පැහැදිලි තිරසාර ප්‍රතිපත්තියක් සකස් කර තිබේ. පාර්ශවකරුවන් සමඟ ඇති සබඳතා හා තෝරාගත් SDG අතර සම්බන්ධයක් ඇති බව පෙන්නුම් කරයි. ද්‍රව්‍යමය තක්සේරුව ද විශ්ලේෂණය කර ඇත. එහි කාර්ය සාධනය වෙනුවෙන් ඇති උපාය මාර්ග හා ඒ සඳහා සම්පත් වෙන් කිරීම පෙන්වා දී තිබේ. ජලය, බලශක්තිය, අපද්‍රව්‍ය සහ GHG සඳහා වසර හතරක විශ්ලේෂණයක් ලබා දී ඇත.”

    “තිරසරභාවය අපගේ මෙහෙයුමේ සෑම අංශයක ම මූලික අංගයක් බවට පත් වී තිබේ. පාරිසරික බලපෑම්, එුවා අවම කිරීමට අප ගන්නා උත්සාහයන්, සහ තිරසර පාරිසරික භාවිතයන් ප්‍රවර්ධනය හා ප්‍රචාරණය කිරීම සඳහා අප ගන්නා ක්‍රියාකාරී මුලපිරීම් යනාදිය පිළිබඳව සවිස්තරාත්මක අවබෝධයක් අපගේ පාර්ශවකරුවන්හට ලබා දීමට අපි උත්සාහ කරන්නෙමු,” යනුවෙන් සෙලින්කෝ ලයිෆ් හි ජ්‍යෙෂ්ඨ විධායක අධ්‍යක්ෂක සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී පාලිත ජයවර්ධන මහතා සඳහන් කළේය. “අනාවරණය සඳහා වන නිර්දේශ සපුරාලීමට අමතරව අපගේ තිරසර වාර්තාකරණය අන් අයට ද ආදර්ශයක් වනු ඇතැයි අපි බලාපෙරොත්තු වෙමු.”

    2023 දී අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, අඛණ්ඩව 10 වන වසරටත් ශ්‍රී ලංකාවේ ‘හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස වර්ල්ඩ් ෆයිනෑන්ස්’ විසින් පිදුම් ලැබූ අතර, 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම’ ලෙස 17 වන වසරටත් සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) විසින් ඇමරිකානු සහතික ලත් රාජ්‍ය ගණකාධිකාරී ආයතනය (AICPA) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) සමඟ එක්ව 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස ද නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් සමාගම, 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇති අතර, 2022 වසරේ අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය.

    සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

     

    සේයාරු සටහන - සමාගම වෙනුවෙන් සෙලින්කෝ ලයිෆ් කණ්ඩායම සම්මානය පිළිගැනීම.