සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ජයග්‍රාහකයන් පර්ල් බේ හිදී විනෝද වෙයි

    May, 9, 2024

    2024 වර්ෂයේ සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමඟ ශ්‍රී ලංකාවේ නවතම ජල ක්‍රීඩා පහසුකම් සහිත පර්ල් බේ තේමා උද්‍යානයේ දී විනෝද වීමට දහසකට ආසන්න පිරිසකට අවස්ථාව හිමි විය.

    සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් 250 දෙනෙක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට එදින උද්‍යානය තුළ සැරිසැරීමට අවස්ථාව ලබා දුන් අතර ජීවිත රක්ෂණ වෙළඳපොළෙහි ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් ජල උද්‍යානය ඔවුන් සඳහා ම වෙන් කර තිබුණි. ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ සන්නාම තානාපතිවරුන් වන ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවන මහතා, ඔහුගේ බිරිඳ කුෂ්ලාණි මහත්මිය සහ ඔවුන්ගේ පුත් මිනෙත් මෙම කටයුතුවලට සම්බන්ධ විය.

    විනෝද චාරිකාව ආරම්භයේ දී අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් හි විධායක අධ්‍යක්ෂ/ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රංග අබේනායක මහතා පැවසුවේ ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනෙහි 17වන වසර මෙය වන බවයි. එය ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ විශාලතම සහ ත්‍යාගශීලී ප්‍රවර්ධන වැඩසටහන වන අතර පවුල් වල සමාජිකයන් එකට එක් වී කාලය ගත කිරීමේ වැදගත්කම ඉස්මතු වන ලෙස මෙම වැඩසටහන සංවිධානය කර ඇත. එතුමා තව දුරටත් අදහස් දක්වමින් පැවසුවේ ‘ෆැමිලි සවාරි’ වැඩසටහන වර්තමානය වන විට ශ්‍රී ලංකාව පුරා සිටින රක්ෂණ ඔප්පු හිමියන් සඳහා ශක්තිමත් සහ කල්පවතින බැඳීම් සහ මතකයන් නිර්මාණය කර අවබෝධය සහ එකමුතුකම වර්ධනය කිරීමට දායක වීම හේතුවෙන් ප්‍රවර්ධනයට වඩා වැඩි දෙයක් සිදු කරන බවයි.

    පර්ල් බේ හි දිවා සංචාරයක් දිනා ගත් ඔප්පුහිමි පවුල් 250ට අමතර ව සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමි පවුල් පහක් තුර්කිය වෙත සහ තවත් පවුල් 10ක් මැලේසියාවට සියලු වියදම් සහිත නිවාඩුවක් දිනා ගත්හ. මෙම සංචාරයන් මැයි සහ ජුනි මාස වලදී සිදු වෙයි.

    2023 දී අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.

    සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 36 න් වසර 20 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.