සෙලින්කෝ ලයිෆ් 2019 සඳහා රුපියල් බිලියන 8.2 ක බදු වලට පෙර ලාභයක් සහ රුපියල් බිලියන 32.1 ක ආදායමක් වාර්තා කරයි

    February, 25, 2020

    රුපියල් බිලියන 18.7 රක්ෂණ වාරික ආදායමක් ලබාගනිමින් අඛණ්ඩව 16 වන වසරටත් මෙරට ජීවිත රක්ෂණ අංශයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා වෙයි

    2019 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මූල්‍ය වර්ෂය තුළදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ ඒකාබද්ධ ආදායම රුපියල් බිලියන 32.1 ක් දක්වා ශක්තිමත් ලෙස වර්ධනය වී තිබෙන අතර සමාගමේ ආදායම් වර්ධනය පෙර වසරට සාපේක්ෂව 9.9%ක්වී තිබේ.

    මෙරට ජීවිත රක්ෂණ  ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා මෙම මූල්‍ය වසරේදී දළ රක්ෂණ වාරික ආදායම ලෙස රුපියල් බිලියන 18.7 ක මුදලක් රැස්කර ගැනීමට සමත්ව තිබෙන අතර එය 2018 වසරට සාපේක්ෂව 5% කින් හෙවත් රුපියල් මිලියන 906 ක වර්ධනය වීමකි. මේ අතර, ආයෝජන ආදායම සහ අනිකුත් ආදායම් රුපියල් බිලියන 13.4 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එය පෙර වසරට සාපේක්ෂව 17.5% ක වර්ධනයකි.

    සමාගම විසින් 2019 වසරේදී උපයාගත් රක්ෂණ වාරික ආදායම අනුව අඛණ්ඩව 16 වසරටත් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛතම සමාගම බවට පත්වී තිබේ.

    මේ අතර, සෙලින්කෝ ලයිෆ් 2019 මූල්‍ය වසරේදී බදු වලට පෙර ලාභය ලෙස රුපියල් බිලියන 8.2 ක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරට සාපේක්ෂව 14.7% ක වර්ධනයකි. මෙහිදී, කැපී පෙනෙන්නේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 6.7 ක් දක්වා 15.1% කින් ශක්තිමත් ලෙස වර්ධනය වීමයි.

    ‘මන්දාගාමී ආර්ථික තත්ත්වයක් තුළ ලබාගත් මෙම වර්ධනයන්  ඕනෑම ප‍්‍රමිති තත්ත්වයක් අනුව සලකා බැලූවත් ජයග‍්‍රහණයක් බව කිව හැකියි,’ යනුවෙන් මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා පැවසීය. ‘ගෙවුනු වසර මූල්‍ය සේවා සමාගම් වලට අභියෝගාත්මක වසරක් වූ බව එම සමාගම් විසින් දැනටමත් ප‍්‍රකාශ කර තිබෙන මූල්‍ය වාර්තා වලින් මනාව පෙනෙනවා. අපි මෙම කාර්ය සාධනය ලබාගත්තේ වසර ගණනාවක් පුරා අපගේ ව්‍යාපාරයේ මූලික සිද්ධාන්ත පිළිබඳව තිබෙන දැක්ම සහ සෑම අවස්ථාවකදීම අපගේ ප‍්‍රධාන වටිනාකම් ඉහළින් ආරක්ෂා කර ගැනීම නිසයි.’

    2019 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මූල්‍ය වර්ෂය තුළදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ ආයෝජන කළඹ 12.7% කින් රුපියල් බිලියන 116.9 ක් දක්වා වර්ධනය වූ අතර සමස්ත වත්තම් ප‍්‍රමාණය රුපියල් බිලියන 133.4 ක් දක්වා 13% කින් වර්ධනය වී ඇත.

    මේ අතර, සමාගමේ ජීවීත රක්‍ෂණ අරමුදල 9.2% කින් රුපියල් බිලියන 96.2 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර මේ වසර තුළදී කොටස්කරුවන්ගේ අරමුදල රුපියල් බිලියන 3.9 කින් වර්ධනය වී රුපියල් බිලියන 31.5 ක්වී තිබේ.

    සමාගම විසින් 2019 මූල්‍ය වසර තුළදී රුපියල් බිලියන 10.6 ක ශුද්ධ හිමිකම් සහ ප‍්‍රතිලාභ රක්ෂණ ඔප්පුහිමියන්ට ගෙවා තිබෙන අතර එය 2018 වසරට සාපේක්ෂව 8.1% ක වර්ධනයකි.

    සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 32 තුළ වසර 16 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ. සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

    2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සම්මාන ලැබූ සෙලින්කෝ ලයිෆ් එම වසරේදී International Chamber of Commerce Sri Lanka විසින් මෙරට ගෞරවණීයම සමාගම් 10 ලයිස්තුවට ඇතුළත් කර තිබේ. එසේම, 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හයවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සහ ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 13 වසරක් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සමාගම සම්මානයට පාත‍්‍රකර තිබේ.