සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමේ රු. බිලියන 2.6ක දැවැන්ත කොටස් ගනුදෙනුවක්

    January, 16, 2020

    මෙරට ලැයිස්තුගත රක්ෂණ සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි කොටස් මිලියන 71.25 ක ගනුදෙනුවක් අද (16) දින සිදුවිය. ඒ එක් කොටසක් රු. 37.00 බැගිනි. මේ අනුව අදාළ ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 2,636.25 ක් හෙවත් රුපියල් බිලියන 2.63 කි.

    සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි තෙවන විශාලතම කොටස්කරුවා වූ State Street Munich C/O Ssbt-Deg-Deutsche Investitions-Und Entwicklungsgesellschaft MBH විසින් 19%ක් වූ සිය කොටස් අයිතිය මෙහිදී අලෙවි කර තිබේ.

    මෙහිදී කොටස් මිල දී ගෙන ඇත්තේ Milford Ceylon Pvt Ltd විසිනි.

    මෙම කොටස් ගනුදෙනුවත් සමඟම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ වෙනසක් ද සිදුව තිබේ.

    ඒ අනුව සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වූ Rudiger Will අද (16) දින ඉල්ලා අස් වී ඇති අතර විස් ගෝවින්දසාමි නව අධ්‍යක්ෂවරයෙකු ලෙසින් පත්කර තිබේ.

    මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන්නේ විස් ගෝවින්දසාමි මහතායි.

    කොටස් වෙළෙඳපොළ වාර්තාවලට අනුව මෙම ගනුදෙනුව විදේශීය පාර්ශව දෙකක් අතර සිදු වූ ගනුදෙනුවකි.