සෞඛ්‍ය සේවාව නංවාලීමට විදේශ ආධාර රැසක්

    March, 12, 2018

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජපානයේ ජයිකා අරමුදල විසින් මුල්‍ය ප්‍රදානයන් සිදු කර ඇත.

    බෝනොවන රෝග පාලනය කිරීම සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් නංවාලීම සදහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇත. ඉදිරි වසර 05 ක කාලය තුළ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් නංවාලීම සදහා එම මුදල් වැය කිරිමට නියමිතය.
    ඒ පිළිබද සැළසුම් සකස් කිරිම සදහා ලෝක බැංකුවේ දකුණු ආසියානු කළාපීය අධ්‍යක්ෂිකා Fadia-Saadah මහත්මිය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි. එහිදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබදව ලෝක බැංකු නියෝජිතවරිය පැසසුමට ලක් කරන ලදි. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය, මාතෘ හා ළමා සෞඛ්‍ය සහ බෝනොවන රෝග පාලනය කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුනි.

    මැලේරියා රෝගය තුරන් කිරීමේ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ‍ලබාගැනීම ලෝක බැංකුවේ අධ්‍යක්ෂ වරියගේ පැසසුමට ලක් විය. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නායකත්වය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමට ගෙන ඇති ක්‍රියාමර්ග ඇය අගය කරන ලදි. බෝනොවන රෝග වැළැක්වීම සදහා දුම්කොළ සදහා සියයට 90 ක බදු පැනවීම, වර්ණ සංකේත භාවිතය, ඇතුලු ගෙන ඇති ක්‍රියාමාර්ග ද ඇය අගය කරන ලදි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය දීපිකා ආටිගල මහත්මිය සහ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ද එක්ව සිටියහ.