හම්බන්තොට වරායේ කොටස් හිමිකාරිත්ව ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය

    December, 6, 2017

    රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ හම්බන්තොට වරායේ මෙහෙයුම් පුළුල් කරමින් එය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රජය, චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම (CM Port), හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම (HIPS) අතර හවුල්කාරිත්ව ගිවිසුමක් 2017 ජූලි 29 දින අත්සන් තබන ලදී.

    ඒ අනුව, හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා ස්ථාපනය කරන ලද විශේෂිත කාර්යය සමාගම් ‍දෙකක් වන ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම (HIPS) විසින් එම ගිවිසුමේ එකඟතා අනුව සිය මෙහෙයුම් කටයුතු 2017 දෙසැම්බර් 09 දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

    HIPG සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 85%ක් CM Port සමාගමට හෝ ඊට අනුබද්ධිත ආයතනයට හිමි වන අතර 15%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වේ. එසේම, HIPS සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 58%ක් HIPG සමාගමට හිමිවන අතර ඉතිරි 42%ක ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වේ.

    ඒ අනුව, එම මුල් ගිවිසුමට පරිපූරක ගිවිසුමක් වශයෙන් සකස් කරනු ලැබ ඇති කොටස් හිමිකාරිත්ව ගිවිසුමට අදාළ පාර්ශ්ව අතර අත්සන් තැබීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.