හම්බන්තොට හිරවූ කාර් වෙන්දේසි කරනවාද ?

    March, 24, 2015

    මෝටර් රථවල බදු වැඩිකිරීම නිසා අපහසුතාවයට පත්වී සිටින වාහන ආනයනකරුවන් මෙරටට ගෙන්වා හම්බන්තොට වරායේ හිරවී තිබෙන මෝටර් රථ 2000 ක් පමණ ප්‍රමාණයක් වෙන්දේසි කරනවා යනුවෙන් තර්ජනය කිරීමට වඩා වැදගත් වන්නේ රජය විසින් මෙම ආනයනකරුවන්ට සහනයක් ලබාදීම බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.

    ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ අප සමග පැවසුවේ පසුගිය අතුරු අයවැය මගින් මෝටර් රථවල බදු වැඩිකිරීම හමුවේ එක් රැයකින් මෙම මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දහයකින් පමණ වැඩිවූ බවයි.

    “ගෙන්වූ වාහන තොග වලින් සියයට 75 ක් විතර මේ වනවිට මුදාගෙන තිබෙනවා. මේ වාහන වලින් හම්බන්තොට වරායේ හිරවී තිබෙන්නේ සියයට 25 ක් වගේ ප්‍රමාණයක්. මේවා වෙන්දේසි කරන බව කියන එක සාධාරණ නෑ. රජය විසින් කළ යුත්තේ අපහසුතාවයට පත්වූ මෙම වාහන ආනයනකරුවන්ට යම් සහනයක් දීමයි.“

    යනුවෙන් මෙරෙංචිගේ මහතා සඳහන් කළේය.

    වරාය අධිකාරියට වාහනයක් හිතුමතේට වෙන්දේසි කිරීමට නොහැකි බවත් ඒ බව දන්වමින් නිවේදන තුනක් එවිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

    වාහන ආනයනය කිරීමේදී භාවිතා කළ ක්ෂ්‍යවීමේ වගුව ඉවත් කරමින් අළුත් වාහන (Brand New) ආනයනය කිරීමේදී අයකරන බදු අනුපාතයන්ම පාවිච්චි කළ වාහන ආනයනය කිරීමේදීත් අය කිරීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කළ නියෝගය අභියෝගයට ලක් කරමින් ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් කිහිප දෙනෙකු පසුගියදා අභියාචනාධිකරණට පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

    මෙම පැමිණිල්ල පසුගියදා විභාගයට ගත් අභියාචනාධිකරණය විසින් මෙයට අදාළව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, මහා භාණ්ඩාගාර ලේකම්වරයා, නියෝජ්‍ය මහා භාණ්ඩාගාර ලේකම්වරයා, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු වගඋත්තර කරුවන් 06 දෙනෙකුට නොතීසි (Notice) නිකුත් කළේය.

    නීතීඥ කේ. දීකිරිවැව මහතා සඳහන් කළේ පෙබරවාරි 10 වනදා මෙම නියෝගය කළ මෙම ගැසට් පත්‍රයට කැබිනට් මණ්ඩල අනුමැතිය නොමැති බවත් ප්‍රතිපත්ති තීරණ ගැනීමට මුදල් අමාත්‍යවරයාට බලයක් නොමැති බවත් දක්වමින් ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් කිහිප දෙනෙකු මෙය අභියෝගයට ලක්කළ බවයි.

    මේ නිසා, මෙම ගැසට් පත්‍රය බල රහිත කරන්නැයි ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

    බැලූ බැල්මට නඩුකරයක් තිබෙන බැවින් වගඋත්තර කරුවන්ට අභියාචනාධිකරණය නොතීසි (Notice) නිකුත් කළ බවත් ඔවුන් හෙට (මාර්තු 25) අධිකරණට උත්තර ලබාදිය යුතු බවත් නීතීඥ කේ. දීකිරිවැව මහතා අප සමග කීය.