හයවන දිනයටත් විදේශීය ආයෝජකයින්ගේ උනන්දුව

    March, 12, 2014

    අද කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු පහළ ගියත් පිට පිටම හයවන දිනයටත් විදේශීය ආයෝජකයින් වැඩිපුර කොටස් විකුණනවාට වඩා මිලදී ගනු දකින්නට ලැබුණි.

    මේ අනුව, අද දිනයේදී විදේශීය ශුද්ධ මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 95 ක් විය. මෙහිදී, විදේශීය ආයෝජකයින් රුපියල් මිලියන 258 ක් වටිනා කොටස් මිලදී ගත් අතර රුපියල් මිලියන 163 ක් වටිනා කොටස් විකුණා දමා තිබේ.

    අද කොළඹ කොටස් වෙළඳ පොළේ විදේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය සියයට 52 කි.

    කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු අද පහළ ගිය අතර සමස්ත මිල දර්ශකය ඒකක 11.05 කින් පහළ ගොස් ඒකක 5,933.52 ක් වෙද්දී එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා මිල දර්ශකය ඒකක 3.83 කින් පහළ ගොස් ඒකක 3,236.29 ක් විය.

    දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 408 ක්වූ අතර කොටස් මිලියන 13.5 ක් අලෙවි වී තිබේ.

    මෙහිදී, නෙස්ලේ කොටසක් රුපියල් 40 කින් පහළ ගොස් රුපියල් 2000 ක් වෙද්දී ජෝන් කීල්ස් කොටසක් ශත 50 කින් පහළ ගොස් රුපියල් 224.50 ක්වී ඇත.

    අද ගිවිසගත් ගනුදෙනු (ක්‍රොසින්ග්ස්) 02 ක් කොමර්ෂල් බැංකුව විසින් සිදුකර තිබෙන්නේ කොටසක් රුපියල් 114.50 ක් බැගිනි. මෙම ගනුදෙනු දෙකේ වටිනාකම රුපියල් මිලියන 0.92 කි.