හැරීගේ රු. බිලියන 3ක අඹේවල කිරි ව්‍යාපෘතියට ආයෝජන මණ්ඩලයෙන් අනුමැතිය

    October, 17, 2019

    ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතියක් ලෙසින් යුනයිටඩ් ඩේරීස් ලංකා (පුද්) සමාගම ලියාපදිංචිය සඳහා අනුමැතිය ලැබී තිබේ. යුනයිටඩ් ඩේරීස් ලංකා (පුද්) සමාගම යනු ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමකි.

    දේශීය වෙළෙඳපොළ සඳහා අවශ්‍ය නිෂ්පාදිත වෙනුවෙන් කිරි ගොවිපළක් අඹේවල දී පිහිටුවීම සඳහා යුනයිටඩ් ඩේරීස් ලංකා (පුද්) සමාගම ස්ථාපිත කර තිබේ.

    මෙය එක්සත් ජනපද ඩොලර් මිලියන 17 වටිනාකමකින් යුතු ව්‍යාපෘතියකි. එනම් ශ්‍රී ලංකා රුපියල් මිලියන 3,103 ක ව්‍යාපෘතියක් වේ.

    යුනයිටඩ් ඩේරීස් ලංකා (පුද්) සමාගම සංස්ථාපනය කරන ලද්දේ 2018 ජූලි 23 වැනි දිනය. කෙසේ වෙතත් සමාගම ස්ථාපිත කිරීමේ කටයුතුවල ප්‍රමාදයක් සිදුව ඇති බව ලංකා මිල්ක් ෆුඩ්ස් 2018 අගෝස්තු මාසයේ දී කියා සිටියේය. මේ සඳහා ආයෝජන මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ 2019 ඔක්තෝබර් 15 දින බව ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම ඊයේ (16) දින කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබුණේය.

    යුනයිටඩ් ඩේරීස් ලංකා සංස්ථාපනයෙන් පසු ආයෝජන මණ්ඩල අනුමැතිය සඳහා තවත් වසරකට අධික කාලයක් ගත වී ඇති බව මේ අනුව පෙනී යයි.

    මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී හි සභාපතිවරයා වන අතර පාලක කොටස් හිමිකාරීත්වය දරන්නා ද වේ.