හෙට සිට කොටස් ගනුදෙනු ගාස්තුවේ වෙනසක්

    June, 26, 2017

    2017 ජූනි 27 දින සිට කොටස් ගනුදෙනු සඳහා අයකරන ලද ගාස්තු සම්බන්ධයෙන් වෙනසක් සිදුකර ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර සිටී.

    මේ දක්වා අය කළ කොටස් ගනුදෙනු ගාස්තුව වූයේ රුපියල් මිලියන 100 කට අඩු ගනුදෙනුවක් සඳහා ගනුදෙනු වටිනාකමින් සියයට 1.12 ක් සහ රුපියල් මිලියන 100 ට වැඩි ගනුදෙනුවක් සඳහා ගනුදෙනු වටිනාකමින් සියයට 0.6125 ක ප්‍රතිශතයකි.

    මෙම නව සංශෝධනය රුපියල් මිලියන 100 ඉක්මවන ගනුදෙනු සඳහා පමණක් බලපැවැත්වෙනු ඇත.

    මෙහිදී අදාළ ගනුදෙනුවේ පළමු රුපියල් මිලියන 100 දක්වා සියයට 1.12 ක ගාස්තුවක් හා වැඩිවන ප්‍රමාණය සඳහා සියයට 0.6125 ක ගාස්තුවක් අය කෙරෙනු ඇත.

    නිදසුනක් ලෙස රුපියල් මිලියන 102 ක ගනුදෙනුවක් සඳහා අයකරනු ලබන කොටස් ගනුදෙනු ගාස්තුව රුපියල් මිලියන 100 ට සියයට 1.12 ක් ලෙසින් රුපියල් 1,120,000 ක් වන අතර ඉතිරි රුපියල් මිලියන 2 සඳහා සියයට 0.6125 ක් ලෙසින් රුපියල් 12,250 ක් වේ.

    මේ අනුව ගෙවිය යුතු සම්පූර්ණ කොටස් ගනුදෙනු ගාස්තුව රුපියල් 1,132,250 කි.

    ගනුදෙනුවක වටිනාකම රුපියල් මිලියන 100 ඉක්මවා යන අවස්ථාවක දී වැඩිවන ප්‍රමාණයට අය කළ හැකි අවම කොටස් තැරැව්කාර ගාස්තුව සියයට 0.2 ක් වන අතර එය තැරැව්කරුවා සමඟ ගිවිසා ගන්නා ප්‍රතිශතය අනුව වෙනස් විය හැකිය.