හෙට සිට ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනය කෙරෙන අලුත්ම වාහනය මෙන්න

    August, 16, 2019

    රු. බිලියන 3ක ආයෝජනයෙන් ඉදි කෙරුණු මහින්ද්‍රා අයිඩියල් ලංකා (පුද්) සමාගමේ නවතම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අගමැති අතින් හෙට විවෘත වේ

    රුපියල් බිලියන 3ක පමණ ආයෝජනයකින් කළුතර දිස්ත‍්‍රික්කයේ වැලිපැන්න ප‍්‍රදේශයේ ඉදි කෙරුණු මහින්ද්‍රා අයිඩියල් ලංකා (පුද්) සමාගමේ නවතම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව හෙට (17) සුබ මොහොතින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් විවෘත වේ.

    මහින්ද්‍රා අයිඩියල් ලංකා (පුද්) සමාගමේ නවතම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවේදී එහි ප‍්‍රථම අදියර ලෙස මහින්ද්‍රා KUV100 නමින් නවීන අංගෝපාංග සහිත SUV රථයක් එකලස් කරන බව එම සමාගමේ සභාපති මෙන්ම අයිඩියල් ව්‍යාපාර සමූහයේ සභාපති නලීන් වෙල්ගම මහතා පැවසීය.

    මහින්ද්‍රා අයිඩියල් ලංකා (පුද්) සමාගමේ නවතම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට අගමැති රනිල් වික‍්‍රමසිංහ, ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු, ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා සමාගමේ කළනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය පවන් ගොඑන්කා යන මහත්වරු ප‍්‍රමුඛ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිතය.

    මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අයිඩියල් ව්‍යාපාර සමූහයේ සභාපති නලීන් වෙල්ගම මහතා,

    මෙම කර්මාන්තශාලාව ආරම්භ වීමත් සමග සෘජු රැුකියා අවස්ථා මෙන්ම වක‍්‍ර රැකියා අවස්ථා රැසක් නිර්මාණය වෙනවා. මෙරට එකලස් කෙරෙන මහින්ද්‍රා KUV100 SUV රථයේ ආසන, බැටරිය, ටයර් සහ එක්ස්හෝස්ට් පද්ධතිය මෙරට නිර්මාණය කරනවා. ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පවතින නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ඉදිරියේදී බොහෝ ප‍්‍රයෝජන ලබාගත හැකියි.

    එමෙන්ම මෙම කර්මාන්තශාලාව මගින් ඉදිරියේදී මහින්ද්‍රා විදුලි මෝටර් රථය, ඞීසල් ඩබල් කැබ් රථය, ස්කෝපියෝ ජීප් රථය මෙන්ම මහින්ද්‍රා සමාගමේ බොහෝ නිෂ්පාදන සිදු කිරීමට හැකියාව ලැබෙනවා.

    වැලිපැන්න ප‍්‍රදේශයේ අක්කර 65ක පමණ වූ විශාල ප‍්‍රමාණයක ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙම කර්මාන්ත ශාලාව ඉදිකර තිබෙනවා. මෙහි සියයට 65ක පමණ කොටස් අයිඩියල් සතු අතර ඉතිරි සියයට 35 ඉන්දියාවේ මහින්ද්‍රා සමාගම සතු බවත් නලීන් වෙල්ගම මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    ඡායාරූපය - රට එකලස් කිරීමට නියමිත මහින්ද්‍රා KUV100 SUV රථය