හේතුවක් නැහැ – කොටස් මිලෙහි අසාමාන්‍ය ඉහළ යාම ගැන එක්ස්පෝලංකා කරුණු පැහැදිලි කරයි

    September, 16, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගමක් වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් අසාමාන්‍ය අයුරින් ගනුදෙනු වීම සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ (සමූහ මූල්‍ය), මුස්ටාක් අහමඩ් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කරුණු දක්වා සිටී.

    ගනුදෙනු මෙහෙයුම්, වෙළෙඳපොළ ආවේක්ෂණ හා ආයතනික කටයුතු ප්‍රධානී නිලූපා පෙරේරා වෙත ලිපියක් යවමින් එක්ස්පෝලංකා අධ්‍යක්ෂවරයා පවසන්නේ, මේ සම්බන්ධයෙන් අනාවරණය නොකළ මිල සංවේදී තොරතුරු කිසිවක් නොමැති බවයි. එසේම කොටස් මිල ඉහළ යාම සම්බන්ධයෙන් වෙනත් හේතුවක් ද නොමැති බව සමාගම වැඩිදුරටත් කියා සිටී.

    මේ අතර අද (16) දිනයේ දී ද එක්ස්පෝලංකා සමාගමේ කොටස් මිලියන 49.77 ක් ගනුදෙනු වූ අතර රු. 8.60 සිට රු. 10.30 දක්වා වූ මිල පරාසය තුළ එම ගනුදෙනු සිදුවිය.

    2020 මැයි 13 වන විට සමාගමේ කොටසක මිල පැවතියේ රු. 1.80 ක් ලෙසිනි. එය මේ වන විට මාස 4 ක කාලපරිච්ඡේදයක් තුළ දී පස්ගුණයක් ඉක්මවා ඉහළ ගොස් තිබේ.