හේමාස් රෝහල් ජාලය සිය හෙද කාර්‍යමණ්ඩලයේ විශිෂ්ටත්වය අගයමින් ජාත්‍යන්තර හෙද දිනය සමරයි

    May, 10, 2024

    ශ්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනූ සෞඛ්‍ය සේවා සන්නාමය වන හේමාස් රෝහල් ජාලය, ගුණාත්මක හා සුරක්ෂිත මෙන් ම  ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල සේවාවක් මෙරට ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන අතර, හේමාස් රෝහල් ජාලයේ මෙම විශිෂ්ටත්වයට එහි හෙද කාර්ය මණ්ඩලයේ ප්‍රවීණත්වය මෙන් ම කැපවීම බෙහෙවින් බලපා ඇති බව පැවසිය යුතු ම කරුණකි.

    එම නිසා ම සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රමිතීන් පිළිබඳ සංකල්පය ලොවට හඳුන්වා දුන්, 19 වන සියවසේ පුරෝගාමී හෙදිය ලෙස හඳුන්වා දිය හැකි  ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ උපන් දිනය යෙදී ඇති මැයි 12 වන දින වාර්ෂික ව සැමරෙන ජාත්‍යන්තර හෙද දිනය සැමරීමට හේමාස් රෝහල කටයුතු කළ අතර, එහි දී හේමාස් රෝහල සිය හෙද කාර්‍යමණ්ඩලයේ කැපවීම සහ විශිෂ්ටත්වය ඇගයීමට පියවර ගත්තේය.

    හේමාස් රෝහලේ සාමාන්‍යාධිකාරී  ඩොරින් ද සූසා මහත්මිය මෙහි දී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “අපගේ හෙද කාර්ය මණ්ඩලයේ දක්ෂතාව, කැපවීම සහ අති විශිෂ්ට සත්කාරක සේවාව රෝගීන් වෙත අප ලබා දෙන ගුණාත්මක බවින් යුතු ඉහළ සේවාව තහවුරු කිරීම සඳහා මනා සහයෝගයක් ලබා දෙනවා. දිවා රාත්‍රී වෙහෙසෙන අපගේ හෙද කාර්ය මණ්ඩලයේ අසමසම කැපවීම නිසා ම ඔවුන් පෞද්ගලික කාරණා පසෙකලා වෘත්තීය ජීවිතය වෙත මුල් තැන ලබා දෙමින් කටයුතු කරන බව පැවසිය යුතු ම යි. එබැවින් මේ මොහොතේ දී අපගේ හෙද කාර්ය මණ්ඩලය ඉටු කරන අමිල මෙහෙය අගය කිරිම සඳහා මෙය වටිනා අවස්ථාවක් කර ගත්තෙමු.” යනුවෙනි.

    ඉහළ සුදුසුකම් සහිත, මනා පුහුණු  උද්‍යෝගිමත් වෘත්තිකයන් පිරිසක් ලෙස හඳුන්වා දිය හැකි  හේමාස් රෝහල් ජාලයේ හෙද කාර්‍යමණ්ඩලයේ සේවය ප්‍රශස්ත කිරීම සඳහා වත්තල සහ තලවතුගොඩ යන ප්‍රදේශවල ස්ථාපිත අති නවීන පහසුකම්වලින් සමන්විත හේමාස් රෝහල්වල ආයතනික පරිසරය මනා සහයෝගයක් ලබා දෙන අතර, විවිධ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, හෙදියන් පුහුණු කිරීම සඳහා  ම ක්‍රියාත්මක වන හේමාස් ඇකඩමිය හරහා සුවිශේෂී පුහුණුවක් ලබා දීම, වෘත්තීයමය වශයෙන් ඉහළට යාම සඳහා අවස්ථාව ලබා දීම සහ නිරන්තර උපදේශනය ආදිය තුළින් සිය හෙද කාර්‍යමණ්ඩලයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමට හේමාස් රෝහල් ජාලය නිරන්තර සහයෝගය ලබා දෙයි. එමෙන් ම ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රමිති පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය (ACHSI) විසින් සහතික කරන ලද මෙන් ම ඒකාබද්ධ කළමනාකරණ පද්ධති (IMS) සහතිකයක් සහිත ශ්‍රී ලංකාවේ එක ම රෝහල් ජාලය ලෙස හඳුන්වා දිය හැකි  හේමාස් රෝහල් ජාලය, ශ්‍රී ලංකාව තුළ ගෝලීය සෞඛ්‍ය සේවා ප්‍රමිතීන් නිරූපණය කරන මිනුම් සලකුණ ලෙස නම් කිරීම නිවැරදි ය.

    සිය හෙද කාර්‍යමණ්ඩලය සත්කාරක සේවා, ශල්‍ය සත්කාර, වෛද්‍ය ප්‍රතිකාර, ළමා රෝග, ප්‍රසව හා නාරිවේදය වැනි විවිධ විෂය ක්ෂේත්‍ර තුළ විශිෂ්ටත්වයට පත් කිරීම වෙනුවෙන් කැප වන හේමාස් රෝහල් ජාලය,  හෙද කාර්ය මණ්ඩලයේ ප්‍රතිචාරයන් වෙනුවෙන් දියත් කරන වැඩසටහන් අතරින් iCare වැඩසටහන සුවිශේෂී වැඩසටහනක් ලෙස හඳුන්වා දිය හැකි ය.

    හෙද හෙදියන් මුහුණ දෙන සුවිශේෂී අභියෝග පිළිබඳ මනා අවබෝධයකින් යුතු ව කටයුතු කරන හේමාස් රෝහල් ජාලය, පහසු සේවා කාල, සහන මිලට ආහාර, නොමිලේ නවාතැන් පහසුකම් සහ ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන විවිධ උපකාරක සේවා ආදිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර,  සුවිශේෂී මාතෘ නිවාඩු ප්‍රතිපත්තිය, තනිව දරුවෙකු හදාවඩා ගන්නා මාපියන් වෙත සහයෝගය ලබා දීම සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා නිරන්තරයෙන්  ආධාර කිරීම වැනි ක්‍රියාමාර්ග ද කැපී පෙනේ.

    මානසික සුවතා සැසි පැවැත්වීම, සේවා ස්ථානයේ ආරක්ෂාව පිළිබඳ අඛණ්ඩ දැනුවත් භාවය ලබා දීම සහ කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලබා දීමවැනි වරප්‍රසාද සිය හෙද කාර්‍යමණ්ඩලය වෙත ලබා දීමට ද කටයුතු කරන හේමාස් රෝහල් ජාලය,  සේවකයින්ගේ උනන්දුව සහ සුහදත්වය වර්ධනය වන සේවා පරිසරයක් ගොඩ නැංවීමට නිරන්තරයෙන් කටයුතු කරයි. ඒ වෙනුවෙන්  හෙද දින සැමරුම්, විවිධ ක්‍රීඩා තරඟ, සහ අලුත් අවුරුදු, තෛපොංගල්, රාමසාන් හා නත්තල් වැඩසටහන් ආදී වශයෙන් විවිධාංගීකරණය වූ වැඩසටහන් සංවිධානය කිරීමට ද නිරන්තරයෙන් කටයුතු කරයි.

    සිය හෙද කාර්‍යමණ්ඩලය ඇතුළු සමස්ත සේවක සේවිකාවන්ගේ ගුණාත්මක භාවය වර්ධනය කිරීම වෙනුවෙන් කැප වන හේමාස් රෝහල් ජාලය, සියලු ම ශ්‍රී ලාංකිකයින් සඳහා අසමසම සෞඛ්‍ය සේවාවක් තිළිණ කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට මුල් තැන ලබා දෙමින් ක්‍රියාත්මක වෙයි.