හොංකොං වැසියන්ට නිවසේ සිට රාජකාරි කරන්නැයි උපදෙස් දෙයි

    January, 29, 2020

    ලූනාර් නව අවුරුදු නිවාඩුවෙන් පසු එළඹෙන පළමු රාජකාරි දිනය වන අද (බදාදා) දිනයේ සිට දින 14 ක කාලයක්, තම නිවාසවල රැඳී සිටිමින් රාජකාරි සිදුකරන ලෙස හොංකොං හි පෞද්ගලික සමාගම් ගණනාවක් සිය සේවකයින් හට උපදෙස් දී ඇත. ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා පූර්ව ආරක්ෂිත පියවරක් ලෙසින් එම සමාගම් මෙම පියවර ගෙන ඇති බව Hong Kong Economic Journal වාර්තා කර සිටී.

    මේ අතර හොංකොං රජය ඊයේ නිවේදනය කර සිටියේ හදිසි සහ අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් හි නිරත සේවකයින් හැර සෙසු සියලු රාජ්‍ය සේවකයින් බදාදා (29) දින සිට පෙබරවාරි 02 දින දක්වා තම නිවෙස්වල රැඳී සිටිමින් රාජකාරිවල නිරත විය හැකි බවයි.

    හොංකොං හි විනෝදාස්වාද හා සංස්කෘතික සේවා දෙපාර්තමේන්තුව පවසන්නේ සියලු විනෝද උද්‍යාන, ක්‍රීඩාංගණ සහ පුස්තකාල සියල්ල යළි දැනුම් දෙනතුරු වසා දමා ඇති බවයි. එසේම අධිකරණ කටයුතුවල සිට තැපැල් සේවය දක්වා රාජ්‍ය සේවාවන්ද මේ වන විට අත්හිටුවා ඇත.

    මේ අතර හොංකොං මුදල් අධිකාරිය විසින් රටේ මූල්‍ය ක්‍රියාකාරකම් මූලික වශයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබන අතර හොංකොං බැංකු සමාගම් සමූහය, බැංකු සේවා සඳහා හැකිතාක් ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද භාවිත කරන ලෙස සිය ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටී.

    ලොව ප්‍රමුඛතම ගෝලීය බැංකු සමාගමක් වන HSBC තවදුරටත් සාමාන්‍ය පරිදි සිය කටයුතු පවත්වා ගෙන යන බවත් සිය කාර්ය මණ්ඩලයට මුඛ ආවරණ පැළඳ සේවයට වාර්තා කරන ලෙසත් දැනුම් දී ඇත.

    තම සේවකයින්ට ලූනාර් නව අවුරුදු නිවාඩු සමය පෙබරවාරි 02 දින දක්වා දීර්ඝ කර ඇති බව Alibaba මේ අතර නිවේදනය කර සිටී.

    Hong Kong Broadband Network පවසන්නේ චීනය, හොංකොං, මැකාවෝ, සිංගප්පූරුව හා මැලේසියාව යන රටවල සේවය කරන සිය පසු කාර්යල සේවකයින් (Back-office staff) හට පෙබරවාරි 16 තෙක් නිවෙස්වල සිට රාජකාරි කටයුතු සිදුකරන ලෙසයි.