October, 16, 2026
ඉන්දියාවේ ප්රමුඛ පෙළේ ජීව විද්යා හා ඖෂධ සමාගමක් වන Zydus Lifesciences Limited සහ ශ්රී ලංකාවේ Sunshine Holdings PLC සමූහයට අයත් Sunshine Healthcare එක්ව පිහිටුවීමට යෝජිත Zydus Sunshine Lifesciences (Pvt) Ltd සමාගම, හොරණ ආයෝජන ප්රවර්ධන කලාපයේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම සඳහා ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ගිවිසුමකට එළඹ තිබේ.
අදියර කිහිපයක් යටතේ ක්රියාත්මක කිරීමට නියමිත මෙම ව්යාපෘතිය සඳහා අපේක්ෂිත මුළු ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ඉක්මවයි. අක්කර හතරකට ආසන්න භූමි ප්රමාණයක ඉදිකිරීමට නියමිත මෙම කර්මාන්තශාලාවේ වාණිජ නිෂ්පාදන කටයුතු 2028 වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.
ශ්රී ලංකාවේ ඖෂධ ශ්රී ලංකාවේදීම නිෂ්පාදනය කිරීමේ නව පියවරක්
ව්යාපෘතියේ පළමු අදියරේදී ශ්රී ලංකා වෙළෙඳපොළ සඳහා පෙති සහ කරල් වැනි මුඛයෙන් ලබාගන්නා ඖෂධ (Oral Solid Dosage Forms) නිෂ්පාදනය කෙරේ. මෙහි අරමුණ වන්නේ දේශීයව ගුණාත්මක ඖෂධ නිෂ්පාදනය කර රෝගීන්ට ඒවා ලබාගැනීමේ පහසුව වැඩි කිරීමයි.
එමෙන්ම, දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ ධාරිතාව වර්ධනය කිරීම, ඖෂධ සැපයුම් දාමයේ ස්ථාවරත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සහ ආනයනික ඖෂධ මත රටේ පවතින යැපීම අඩු කිරීම සඳහා ද මෙම ආයෝජනය දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගෝලීය තාක්ෂණික දැනුම සහ දේශීය අත්දැකීම් එකට එක්වෙයි
මෙම හවුල් ව්යාපාරය තුළින් Zydus සමාගමේ ජාත්යන්තර ඖෂධ නිෂ්පාදන විශේෂඥතාව සහ Sunshine Holdings PLC සමූහයේ දේශීය සෞඛ්ය සේවා ක්ෂේත්රය පිළිබඳ දැනුම හා අත්දැකීම් එකට එක් කෙරේ.
ඉන්දියාව කේන්ද්ර කරගත් Zydus Lifesciences Limited සමාගම ඖෂධ, පාරිභෝගික සෞඛ්ය සේවා සහ වෛද්ය තාක්ෂණය ඇතුළු ක්ෂේත්ර රැසක ක්රියාත්මක වන ජාත්යන්තර සමාගමකි. ලොව පුරා සේවකයන් 30,000ක් පමණ සහ පර්යේෂණ හා සංවර්ධන කටයුතුවල නිරත විද්යාඥයන් 1,500ක් පමණ එම සමූහයට අයත් වේ.
Sunshine Healthcare යනු සෞඛ්ය සේවා, පාරිභෝගික භාණ්ඩ සහ කෘෂි ව්යාපාර යන ක්ෂේත්රවල ව්යාපාරික කටයුතු සිදුකරන විවිධාංගීකරණය වූ ශ්රී ලාංකික සමූහ ව්යාපාරයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සෞඛ්ය සේවා අංශයයි. එහි සෞඛ්ය සේවා ව්යාපාරික අංශයට ඖෂධ, වෛද්ය උපකරණ, සිල්ලර වෙළෙඳාම, නිෂ්පාදනය හා පර්යේෂණ සහ සංවර්ධනය (R&D), මෙන්ම බෙදාහැරීම යන ක්ෂේත්ර ඇතුළත් වන අතර, එමඟින් මෙම ව්යාපාරයට දේශීය වෙළෙඳපොළ තුළ ස්ථාපිත පැවැත්මක් සහ දිවයින පුරා විහිදුණු වෙළෙඳපොළ වෙත ප්රවේශ වීමේ හා බෙදාහැරීමේ ජාලයක් හිමි වේ.
මෙම සමාගම් දෙකහි ශක්තීන් ඒකාබද්ධ කිරීම තුළින් ජාත්යන්තර මට්ටමේ නිෂ්පාදන දැනුම මෙරටට ගෙන ඒමටත්, ශ්රී ලංකාවේ සෞඛ්ය සේවා අවශ්යතාවලට ගැළපෙන දේශීය නිෂ්පාදන පදනමක් ගොඩනැංවීමටත් අවස්ථාව සැලසේ.
නව රැකියා අවස්ථා සහ ඉහළ නිපුණතා සහිත ශ්රම බලකායක්
මෙම ව්යාපෘතිය හරහා නිපුණතා සහිත රැකියා අවස්ථා බිහි කිරීමට අපේක්ෂා කෙරේ. කර්මාන්තශාලාවේ සමස්ත සේවක පිරිසෙන් සියයට 80කට වැඩි ප්රතිශතයක් ශ්රී ලාංකිකයන් වනු ඇතැයි අපේක්ෂිතය.
විශේෂිත පුහුණු වැඩසටහන් සහ වෘත්තීය නිපුණතා සංවර්ධනය තුළින් ඖෂධ නිෂ්පාදනය, තත්ත්ව සහතිකකරණය (Quality Assurance), විද්යාත්මක කටයුතු සහ තාක්ෂණික මෙහෙයුම් යන ක්ෂේත්රවල දේශීය දැනුම හා කුසලතා වර්ධනය කිරීමට ද මෙම ව්යාපෘතිය දායක වනු ඇත.
ඒ අනුව, සෘජු රැකියා අවස්ථා බිහි කිරීමෙන් ඔබ්බට ගොස්, ඉහළ තාක්ෂණික දැනුම හා වෘත්තීය නිපුණතා අවශ්ය වන ඖෂධ නිෂ්පාදන කර්මාන්තය සඳහා දේශීය මානව සම්පත සංවර්ධනය කිරීමට ද මෙය වැදගත් පියවරක් වනු ඇත.
සෞඛ්ය ක්ෂේත්රයේ සහ කාර්මික සංවර්ධනයේ දිගුකාලීන ආයෝජනයක්
Zydus Sunshine Lifesciences ව්යාපෘතිය ශ්රී ලංකාවේ සෞඛ්ය සේවා ක්ෂේත්රය සහ කාර්මික සංවර්ධනය වෙනුවෙන් සිදු කෙරෙන දිගුකාලීන ආයෝජනයකි. හොරණ ආයෝජන ප්රවර්ධන කලාපය තුළ මෙම නිෂ්පාදන පහසුකම ස්ථාපිත කිරීමෙන්, දැනුම හා උසස් තාක්ෂණය පදනම් කරගත් ඉහළ වටිනාකමක් සහිත කර්මාන්ත සඳහා ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්රී ලංකාවේ ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.
දේශීය ඖෂධ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම, තාක්ෂණික දැනුම හුවමාරු කිරීම සහ ශ්රී ලාංකික වෘත්තිකයන්ගේ නිපුණතා සංවර්ධනය කිරීම යන අංශ ඔස්සේ මෙම ව්යාපෘතිය මෙරට ඖෂධ කර්මාන්තයේ ඉදිරි ගමනට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Video Story