ෆිච් – ශ්‍රී ලංකාව පහළ දමයි

    December, 4, 2018

    ලොව ප්‍රමුඛ පෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංග්ස්, ශ්‍රී ලංකාවේ Long-Term Foreign-Currency Issuer Default Rating (IDR) ශ්‍රේණිය  'B+' සිට 'B' දක්වා ශ්‍රේණියෙන් පහළට දමා තිබේ.

    ෆිච් රේටිංග්ස් මෙහිදී වැඩිදුරටත් කියා සිටින්නේ 2018 ඔක්තෝබර් 26 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසියේම ගත් නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමේ තීරණයේ ප්‍රතිඵලයක් ලෙසින් මේ වන විට පැන නැඟී ඇති,  බාහිර ප්‍රතිමූල්‍යයන අවදානම්, අවිනිශ්චිත ප්‍රතිපත්තීන් මෙම ණය ශ්‍රේණිය පහත දැමීමෙන් නිරූපණය වනු ඇති බවයි.

    දේශීය බැඳුම්කර වෙළෙඳපොළේ මේ වන විට විශාල වශයෙන් විදේශීය ගලායාමක් වාර්තාවන බවත් දේශීය විනිමය විනිමය දිගින් දිගටම අවප්‍රමාණය වීම යන කාරණා හමුවේ ආයෝජක විශ්වාසය බිඳවැටීමේ තත්ත්වයක් උදාවී ඇති බව ෆිච් රේටිංග්ස් කියා සිටී. 2019-2022 කාලපරිච්ඡේදය තුළ දී ඩොලර් බිලියන 20.9 ක දැවැන්විත දේශීය ණය ප්‍රමාණයක් ගෙවීමට ශ්‍රී ලංකාව බැඳී සිටින අතර මේ වන විට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5 ක් පමණ බව ද ෆිච් අවධාරණය කරයි.

    පවතින දේශපාලන කැළඹීම පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි කෙරීගෙන යාමට බාධා වී ඇති අතර එය රටේ බාහිර ප්‍රතිමූල්‍යයන අවදානම තවදුරටත් ව්‍යාකූල කිරීමට හේතු වී ඇති බව ද ෆිච් පවසයි.

    මීට පෙර 2016 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය BB- සිට B+ දක්වා පහළ දමන්නට ෆිච් රේටිංග්ස් ක්‍රියා කළ අතර අද (04) දිනයේ දී එය 'B+' සිට 'B' දක්වා තවදුරටත් පහළ ශ්‍රේණියකට දමා තිබේ. මේ අනුව වසර 3 ක් ඇතුළත ශ්‍රේණිගත කිරීමේ ස්ථාන දෙකකින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළට ගොස් ඇත.