ෆුල්ෆේස් හෙල්මට් තහනම් – ගැසට් කළ නීතිය මෙන්න

    February, 24, 2017

    යතුරු පැදිකරුවන්ගේ ආරක්ෂක හිස්වැසුම් සම්බන්ධයෙන් නව නීති මැලැවක් රජය විසින් ගැසට් කර තිබේ.

    එහි සඳහන් වන පරිදි යතුරු පැදියක් පදවන තැනැත්තකු පළඳින හෝ භාවිතා කරන සෑම ආරක්ෂක හිස්වැසුමක් ම ශ්‍රී ලංකා ප්‍රමිති 517-1994 හෝ ආරක්ෂක හිස්වැසුම් සම්බන්ධයෙන් කලින් කළ අදාළ වන්නා වූ ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවයි.

    තවද ආරක්ෂක හිස්වැසුමක්, එය පැළඳි විට එහි කිසිදු කොටසකින්, දිගුවකින් හෝ සම්බන්ධිතයකින් එය පැළඳ සිටින තැනැත්තාගේ මුහුණේ කිසිදු කොටසක් අපැහැදිලි වීමක්, සැඟවීමක් හෝ විකෘති වීමක් සිදු නොවිය යුතු බව මෙම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

    මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, බාහිර පර්යන්ත දැක්මට බාධාවක් නොවන හා මුහුණ පෙදෙස නිරාවරණය වන, අඳුරු කරන ලද හෝ වර්ණ ගන්වන ලද ද්‍රව්‍යයකින් නිපදවනු නොලැබූ මුහුණු ආවරණයක් සහිතව සවිකර තිබිය යුතු බවයි.

    අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනය පහත දැක්වේ. කෙසේ වෙතත් මෙම නීති විධිවිධාන බලාත්මක වන දිනයක් මෙම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ නැත.