ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමෙන් Covid-19 මර්දන අරමුදලට පරිත්‍යාගයක්

    April, 17, 2020

    ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සංජීව් ජා මහතා සහ එම සමාගමේ නියෝජිතයන් පිරිසක් පසුගියදා විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවූහ. එහිදී සංජීව් ජා මහතා, මෙරට Covid-19  වසංගත තත්ත්වය මර්දනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා ඇතුළුව අත්‍යවශ්‍ය සේවා සාමාජිකයන් ලබාදෙන දායකත්වය ඇගයීමට ලක්කළේ ය. මෙහිදී සමාගම විසින් සෞඛ්‍ය සේවකයන් සහ ත්‍රිවිධ හමුදා වෙනුවෙන් ආරක්ෂක ඇඳුම් සහ මුඛ ආවරණ තොගයක් පරිත්‍යාග කරන ලද අතර, ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ සහ එහි සාමාජික සාමාජිකාවන්ගේ දායකත්ව සමගින් Covid-19  මර්දන අරමුදල සඳහා රු. මිලියන 10 ක මුදලක්ද ප්‍රදානය කෙරිණි.

    Covid-19  වසංගතය නිසා රට තුළ ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය සමනය කිරීම උදෙසා රජය ඇතුළු විවිධ පාර්ශ්ව මගින් ගනු ලබන ක්‍රියාමාර්ග වලට අත්වැලක් වනු පිණිස ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගම සහ එහි සාමාජිකයන් විසින් මෙම මුදල එක්රැස් කර පරිත්‍යාග කරන ලදී.

    මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ආචාර්ය සංජීව් ජා මහතා මෙසේ පැවසී ය. “මෙවැනි අවස්ථා වලදී නිතැතින්ම අප සියලුම දෙනා වෙත යම් යම් වගකීම් පැවරෙනවා. ව්‍යාපාරයක් ශ්‍රේෂ්ඨ වන්නේ අර්බුදයකදී ඵලදායී ලෙස තම සම්පත් යෙදවීම තුළිනි. ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් යනු ජනතාවට රැකවරණය සලසන අතරම ඔවුන්ට ශක්තියක් වීම සඳහා සෑම විටම උත්සාහ කරන සමාගමක්. සමගිය, සමාදානය හා එකිනෙකා කෙරෙහි දයාවෙන් යුතුව එක සිතින් එක්වී කටයුතු කිරීමෙන් අපට ඉක්මනින්ම මෙම අභියෝගය ජයගත හැකිවනු ඇති බව අපට විශ්වාසයි.”

    ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් යනු ජාත්‍යන්තර ෆෙයාෆැක්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමකි. ලොව ප‍්‍රමුඛ පෙළේ රක්ෂණප‍්‍රතිරක්ෂණ හා ආයෝජන කළමනාකරණ සමාගමක් වන එහි ප‍්‍රධාන කාර්යාලය කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පිහිටා ඇත. මෙරට ප‍්‍රමුඛතම සාමාන්‍ය රක්ෂණ සමාගමක් වන ෆෙයාෆස්ට් සමාගම වර්තමානය වන විට දිවයින පුරා ව්‍යාප්ත වී ඇති අතර පරිපූර්ණ ශාඛා ජාලයක්සේවා සහකරුවන් සහ වෙළඳපොළේ ප‍්‍රමුඛතම රක්ෂණ තැරැව්කරුවන් සමග එක්වී මෙරට ජනතාවට රක්ෂණ සේවාවන් සමුදායක් තිළිණ කරමින් සිටී.

    ඡායාරූපය: විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සංජීව් ජා මහතා වෙතින් රු. මිලියන 10 ක චෙක්පත භාරගත් අවස්ථාව. (දකුණේ සිට) බ්‍රිගේඩියර් නිශාන්ත මානගේ මහතා, ඩිලන් මිචෙල් මහතා (ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස්)සංජේ සිරිවර්ධන මහතා (ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස්) සහ කණිෂ්ක ද සිල්වා මහතා (‘හරිමග’ සභාපති) ද ඡායාරූපයෙහි වෙති.