ෆොන්ටෙරා සමාගම ජනාධිපති කාර්යසාධක බලකායේ මගපෙන්වීම යටතේ අගය එකතු කළ කිරි නිෂ්පාදන අපනයනය වේගවත් කරයි

    August, 31, 2020

    බැසිල් රාජපක්ෂ මහතා වෙත නිෂ්පාදන සාම්පල එකතුවක්ද පිරිනැමේ

    ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ දැක්ම හා අරමුණු වලට සමගාමීව, තම අගය එකතු කළ කිරි නිෂ්පාදන අපනයන ක‍්‍රියාවලිය වේගවත් කිරීමට ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගම කටයුතු කර තිබේ.

    මෙලෙස අපනයනය කරනු ලබන කිරි නිෂ්පාදන ඇතුළත් කට්ටලයක් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා වෙත පසුගියදා ප‍්‍රදානය කරන ලදි. මෙම පියවර, එම කාර්ය සාධක බලකාය මගින් හඳුනාගෙන ඇති ජාතික මට්ටමේ ප‍්‍රමුඛතාවන් යථාර්ථයක් බවට පත්කිරීමේ උත්සාහයට දායක වීමක් ලෙස හැඳින්විය හැක.

    මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පැවසී ය. ”රටේ ආර්ථික සමෘද්ධිය ළඟා කරගැනීම සඳහා පෞද්ගලික අංශය දක්වන මෙවැනි දායකත්වයන් අගය කළ යුතුයි. ෆොන්ටෙරා යනු දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ වල ප‍්‍රමුඛයෙක් ලෙස හැඳින්වීමට පුළුවන්. ඔවුන් ශ‍්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් දක්වන දායකත්වය මට පෙනෙනවා. ඒ වගේම ඔවුන් අගය එකතු කළ කිරි නිෂ්පාදන අපනයනය වේගවත් කිරීමට උත්සාහ කරමින් සිටින බවත්, ඉදිරියේදී එම උත්සාහය තව තවත් පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවත් දැනගැනීමට ලැබීම සතුටක්.”

    මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා විසින් ෆොන්ටෙරා ආයතනයට කිරි සපයන කිරි ගොවීන් පිරිසකගේ උත්සාහයන් අගයමින්, ඔවුන් වෙත කෘෂි උපකරණ බෙදාදීමද සිදුකරන ලදි.

    එමෙන්ම මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගම දේශීය කිරි භාවිතයෙන් කිරි නිෂ්පාදන නිපදවීම සඳහා ජාත්‍යන්තර තලයේ තාක්ෂණය භාවිතා කරන ආකාරයද දැකබලා ගත්තේ ය. තමන් සමග අත්වැල් බැඳගෙන සිටින දේශීය කිරි ගොවීන් වෙතින් කිරි මිලදීගන්නා ෆොන්ටෙරා සමාගම, එම අතිනවීන තාක්ෂණය භාවිතයෙන් යෝගට්, නැවුම් කිරි, රස කළ කිරි සහ පානීය යෝගට් වැනි නිෂ්පාදන නිපදවයි.

    මෙම අවස්ථාවේදී අදහස් දක්වමින්, ෆොන්ටෙරා සමාගමේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියානු අර්ධද්වීපය සඳහා නව කළමනාකාර අධ්‍යක්ෂිකා විද්‍යා සිවරාජා මහත්මිය මෙසේ පැවසුවා ය. ”ශ‍්‍රී ලංකාව සමෘද්ධිමත්භාවය කරා රැුගෙන යාමට රජය දරන උත්සාහය සහ ඒ සඳහා ලබාදෙන මගපෙන්වීම මගින් අප පන්නරය ලබමින් සිටිනවා. ඒ වෙනුවෙන් අපගේ සහයෝගය හැකි උපරිමයෙන් ලබාදීමට අප සූදානම්. ශ‍්‍රී ලංකාව යනු ප‍්‍රමාණවත් තරම් සම්පත්, හැකියාවන් හා නිර්මාණශීලීත්වය ඇති රටක්. මේවායින් උපරිම ප‍්‍රයෝජන ලබමින් රටේ ප‍්‍රමුඛතා සපුරාලීමට අප කැපවී සිටිනවා.”

    ඡායාරූප - ෆොන්ටෙරා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට පත්වූ ප‍්‍රථම ශ‍්‍රී ලාංකිකයා වන විද්‍යා සිවරාජා මහත්මිය විසින්, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා වෙත අපනයන කිරි නිෂ්පාදන සාම්පල කට්ටලයක් පිරිනමන ලද අවස්ථාව