11 ක් හැර සියලු රාජ්‍ය ආයතන ලාභ ලබනවා – සෞඛ්‍ය ඇමති කියයි

    October, 30, 2017

    වත්මන් රජය යටතේ රාජ්‍ය ආයතන 11 ක් හැරුණු විට අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත්ව ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සහ මිල්කෝ ආයතනය එකාබද්ධව ඉදිකරන ලද  සුපෝෂ සහ කිරිබීම අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් ඊයේ (29) ජා-ඇල කදාන ප්‍රදේශයේ දී විවෘත විය.

    රාජ්‍ය ආයතන දෙකක් ඒකාබද්ධව අලෙවි මධ්‍යස්ථානයක් විවෘත කිරීම ඉතා හොඳ ලක්ෂණයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා රාජ්‍ය ආයතන වෙළෙද පොලට ඇතුල්වීම තුළින් මිල පාලනයක් සිදු වන බව ද සඳහන් කළේය.

    ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන මෙන්ම මිල්කෝ සමාගමේ නිෂ්පාදන ද පෝෂණය අතින් ඉතා වැදගත් බවත් ත්‍රිපෝෂ නිෂ්පාදන ගර්භනී මාතාවන්ට සහ දරුවන්ට මෙතෙක් කල් ලබාදුන් අතර එහි අතිරික්ත නිෂ්පාදනය සුපෝෂ ලෙස වෙළෙදපොලට නිකුත් කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

    රාජ්‍ය ආයතන ලාභ ලැබිය නොහැකි යන මතය මිත්‍යාවක් බවත් රාජ්‍ය ආයතන දියුණු කිරීම සඳහා රජයේ සහයෝගය ලබාදිය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, ත්‍රිපෝෂ සමාගමේ සභාපති එම්.ඩී බන්දුසේන, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ, කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ පී. සුන්දරලිංගම් යන මහත්වරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.