15 වන ආසියා ශාන්තිකර විදුලි සංදේශ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ

    June, 11, 2018

    15 වන ආසියා ශාන්තිකර විදුලි සංදේශ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සමුළුවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

    මෙවර සමුළුවේ සත්කාරකත්වය ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් දරනු ලබන අතර සමුළුව අද සිට ජූනි 13 වන දින දක්වා කොළඹ දී පැවැත්වෙයි.

    විදුලි සංදේශ සහ තොරතුරු සංනිවේදන තාක්ෂණ ප‍්‍රතිපත්ති සම්පාදකයන් සහ නියාමකයන්ට විදුලි සංදේශ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ සිදුවන වෙනස්කම්වල ප‍්‍රතිඵලයක් වශයෙන් මුහුණදීමට සිදුවන ගැටලු පිළිබඳව එක්ව සාකච්ඡා කිරීම සඳහා පොදු වේදිකාවක් සැපයීම මෙම සමුළුවේ අරමුණයි.

    ආසියා ශාන්තිකර විදුලි සංදේශ සංගමයේ සාමාජිකයින්, ආශ‍්‍රිත සාමාජකයින්, අනුබද්ධ සාමාජිකයන් සහ ජාත්‍යන්තර කලාපීය සංවිධාන සාමාජිකයන් මෙම සමුළුව සඳහා එක්ව සිටී.

    සමුළුවේ සමාරම්භය සනිටුහන් කරමින් පැමිණ සිටි පිරිස පිළිගැනීම ආසියා ශාන්තිකර විදුලි සංදේශ සංගමයේ මහලේකම් ඇරිවන් හැවොරන්ග්සි මහත්මිය (Areewan Haorangsi) විසින් සිදුකළාය.

    ආසියා ශාන්තිකර විදුලි සංදේශ සංගමයේ 15 වන විදුලි සංදේශ තොරතුරු තාක්ෂණ සංවර්ධන සමුළුවේ උප සභාපතිනි Tepua Hunter මහත්මිය විසින් විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදු කළ අතර, සමාරම්භක දේශනය ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා විසින් සිදුකරන ලදී.

    ආසියා ශාන්තිකර විදුලි සංදේශ සංගමයේ මහලේකම් ඇරීවන් හැවොරන්ග්සි මහත්මි විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා ද මහලේකම්වරිය වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

    ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.