1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවය ශ්‍රව්‍යාබාධිත සහ කථනාබාධිත ප්‍රජාවටත්

    June, 27, 2019

    රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ (1919) සේවාවන් ශ්‍රව්‍යාබාධිත සහ කථනාබාධිත ප්‍රජාවටද ලබා ගැනීමට හැකි වන ආකාරයෙන් එහි සේවාවන් පුළුල් කෙරේ.

    මේ අනුව එවැනි අයෙකුට වට්ස් ඇප් හෝ වයිබර් තාක්ෂණය ඔස්සේ  රාජ්‍ය තොරතුරු  කේන්ද්‍රය හා සම්බන්ධ විය හැකි අතර ඔහු හෝ ඇය විමසන තොරතුරු සංඥා භාෂා පරිවර්තකයෙකු විසින් ලබා දෙනු ඇත.

    සිංහල සහ දෙමළ භාෂා වලින් මෙම තොරතුරු ලබා ගත හැකි අතර 0702621919 සහ 0702521919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය  ඇමතිය යුතු එම දුරකථන අංක වේ.

    තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ ප්‍රතිලාභ කිසිදු භේදයකින් තොරව සෑම දෙනාටම සමව  ලැබිය යුතුය යන්න යථාර්තයක් කිරීමට ගත් තවත් එක් අවස්ථාවක් වශයෙන් මෙය හැදින්විය හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා මහතා පවසයි.

    තවද ශ්‍රව්‍යාබාධිත සහ කථනාබාධිත අයකු කාර්යාලයකට, රෝහලකට, පොලීසියකට වැනි ස්ථානයකට යම්  සේවාවක් ලබා ගැනීමට යෑමේදී  අදාළ අංශ සමග තොරතුරු හුවමාරු කර ගැනීම සදහා ඉහත පරිදි රාජ්‍ය  තොරතුරු කේන්ද්‍රයේ සංඥා භාෂා පරිවර්තකයෙකුගේ සහාය ලබා ගත හැකි බවද නියෝජිතායතනය පවසයි.

    උදෑසන 8 සිට සවස 5 දක්වා  සතියේ සෑම දිනකම රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවාව මහජනතාවට  ලබා ගැනීමට හැකිවේ.