20 වන වරටත් කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සැප්තැම්බර් මස 21 සිට 30 දක්වා

    September, 11, 2018

    20 වන වරටත් සංවිධානය කර තිබෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය (CIBF) පැවැත්වෙන සැප්තැම්බර් 21-30 දින 10 ක කාලය තුළදී පොත් වලට ආදරය කරන මිලියන 1.5 ක පමණ ජනතාවක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයට (BMICH) පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    සැප්තැම්බර් 21දා ඇරඹෙන මෙවර පොත් ප‍්‍රදර්ශනය සඳහා ප‍්‍රදර්ශකයින් 200 කට වැඩි පිරිසක් සහභාගී වන අතර අලෙවි කුටි ප‍්‍රමාණය 400 කට අධිකය. මින් 40 ක් විදේශීය පොත් අලෙවි කුටි වේ. මෙම පොත් ප‍්‍රදර්ශනය සැලකෙන්නේ මෙරට සිදුකරන විශාලතම වාර්ෂික පොත් ප‍්‍රදර්ශනය ලෙසයි.
    කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනය මහජනතාව සඳහා සෑම දිනකම උදෑසන 9 සිට රාත‍්‍රී 9 දක්වා පැය 12 ක කාලයක් විවෘත වේ. සංවිධායකවරුන් පවසන්නේ මෙවර පොත් ප‍්‍රදර්ශනයට අනුබද්ධව විදේශ විශ්ව විද්‍යාල ඇතුළුව ප‍්‍රදර්ශකයින් 30 දෙනෙකු සහභාගී වන අධ්‍යාපනික සහ වෘත්තීය මාර්ගෝපදේශන ප‍්‍රදර්ශනයක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන බවයි.

    කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේදී ඉංග‍්‍රීසි, සිංහල සහ දෙමළ පොත් ප‍්‍රකාශකයින්, ආනයනකරුවන් සහ වෙළෙඳුන් එකම තැනකදී මුණ ගැසෙන අතර වෙනදා අලෙවි කරන මිලට වඩා 20% ක් අඩුවෙන් මෙහිදී පොත් සහ ලිපිද්‍රව්‍ය මිලදීගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට මෙහිදී හිමිවේ. මීට අමතරව, N ශාලාවේ පිහිටි මිල අඩු පොත් අලෙවි කුටි වලින් 80% ක් දක්වා වට්ටම්කළ මිලට පොත් සහ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට ලැබේ.
    පාසැල් සිසුන්ට, විශ්ව විද්‍යාල සිසුන්ට, පූජ්‍ය පක්ෂයට සහ නිළ ඇඳුමෙන් පැමිණෙන ආරක්ෂක අංශ සාමාජිකයින්ට මෙම ප‍්‍රදර්ශනයට නොමිලේ ඇතුළු විය හැකි අතර අනිකුත් ජනතාවගෙන් රුපියල් 20 ක මුදලක් අයකරනු ලබයි. මෙසේ අයකරන මුදල් සම්පූර්ණයෙන්ම යොදවන්නේ රටපුරා විසිරී සිටින අවශ්‍යතා සහිත සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදීම සඳහා පිහිටුවා තිබෙන ‘දරු දිරිය’ ශිෂ්‍යත්ව අරමුදලටයි. මෙහිදී, තෝරා ගන්නා සිසුන්ට පළමු ශ්‍රේණියේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මගින් අනුග‍්‍රහය ලබාදෙයි. පසුගිය වසර 11 ක කාලය තුළදී ‘දරු දිරිය’ ශිෂ්‍යත්ව යෝජනා ක‍්‍රමය මගින් බොහෝ සිසුන් ප‍්‍රමාණයකට අනුග‍්‍රහය සපයා තිබේ.

    කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සැප්තැම්බර් 21 වනදා විවෘත කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වන අතර කොළඹ බි‍්‍රතාන්‍යය කවුන්සලයේ අධ්‍යක්ෂිකා, ජිල් කල්ඩිකොට් මහත්මිය ගෞරවණීය ආරාධිතයා ලෙසින් මෙම අවස්ථාවට සහභාගී වේ.

    ‘J’ශාලාව ආසන්නයේ පිහිටුවා තිබෙන ‘කැටපත් පවුර’ පොත් ප‍්‍රදර්ශනයට සුවිශේෂී අංගයක් ලෙස එකතුකර තිබෙන්නේ ප‍්‍රදර්ශනයට පැමිණෙන අයගේ නිර්මාණශීලී කාව්‍ය නිර්මාණ එම පුවරුවේ සටහන් කිරීම සඳහායි. සංවිධායකවරුන් පවසන්නේ 2019 වසරේදී මෙම කැටපත් පවුරේ සටහන් කර තිබෙන හොඳම නිර්මාණ පොතක් ලෙස එළි දක්වන බවයි.

    මීට අමතරව, කලා සහ නිර්මාණ ක‍්‍රියාකාරකම් වලින් පිරුණු දරුවන්ටම වෙන්වූ ස්ථානයක් මෙවර ප‍්‍රදර්ශනයට එක්කර තිබේ. මෙම ප‍්‍රදර්ශනය පැවැත්වෙන දින 10 ක කාලය තුළදී මෙම භූමියේදී පොත් එළිදැක්වීම්, සාහිත්‍ය සංවාද ගණනාවක් සිදුකෙරේ. සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව සංගීතමය ප‍්‍රසංග මගින් සන්ධ්‍යා යාමය වර්ණවත් කිරීමට සූදානම් වී සිටී.

    පසුගිය වසර වලදී මෙන්ම සංවිධාකවරුන් විසින් බොරැල්ල, කොල්ලූපිටිය, රාජගිරිය සහ පුරහල යන ස්ථානවල සිට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රය දක්වා නොමිලේ බස් සේවාවක් ක‍්‍රියාත්මක කරනු ඇත. එසේම, මෝටර් රථ වලින් පැමිණෙන ජනතාවට මෝටර් රථ නැවතුම් පළවල සිට ප‍්‍රදර්ශන ශාලා දක්වා පැමිණීමටද බස් සේවාවක් යොදා තිබෙන බව සංවිධායකවරුන් සඳහන් කරයි. මෙවර පොත් ප‍්‍රදර්ශනය සඳහා පැමිණෙන අමුත්තන් වෙනුවෙන් ආසන පහසුකම්, ආහාර පාන ලබාගැනීමේ අවන්හල්, නොමිලේ පානීය ජලය සැපයීමේ සේවා සහ පොත් ප‍්‍රදර්ශන භූමියේ කුටි විසිරී තිබෙන ආකාරය දැක්වෙන මුද්‍රණය කළ පත‍්‍රිකා ඇතුළු පහසුකම් ලබාදීමට කටයුතු යොදා තිබේ.

    2018 කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සඳහා අනුග‍්‍රහය දැක්වීම සඳහා ප‍්‍රමුඛතම පොත් ප‍්‍රකාශකයින් සහ පොත් අලෙවිකරුවන් 14 දෙනෙකු නිල වශයෙන් ගිවිසුම් අත්සන් කර ඇති අතර මෙවර ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය සපයන්නේ සරසවි පොත් ප‍්‍රකාශකයින් විසිනි. මෙවර පොත් ප‍්‍රදර්ශනයට ප්ලැටිනම් අනුග‍්‍රාහකත්වය ලබාදීම සඳහා අකුර පොත් ප‍්‍රකාශකයෝ, ගොඩගේ බුක් එම්පෝරියම්, එම්.ඞී. ගුණසේන සහ සමාගම, මාස්ටර් ගයිඞ් පබ්ලිකේෂන්ස්, රත්න පොත් ප‍්‍රකාශකයෝ, සදීපා පොත් ප‍්‍රකාශකයෝ, සමයවර්ධන පොත් ප‍්‍රකාශකයෝ සහ වාසනා පොත් ප‍්‍රකාශකයෝ ඉදිරිපත්වී සිටී. මේ අතර, මෙවර ස්වර්ණ අනුග‍්‍රාහකයින් ලෙස ඉදිරිපත්ව සිටින්නේ දයාවංශ ජයකොඩි සහ සමාගම, සමුද්‍රා පොත් ප‍්‍රකාශකයෝ, සතර ප‍්‍රකාශකයෝ සහ සුසර පබ්ලිකේෂන්ස් යන ආයතනයි.