මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීම 03 දා

    December, 31, 2016

    කුලියාපිටිය මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන ජනවාරි 03 වැනිදා පැවැත්වීමට නියමිතය.

    ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කරමින් කුලියාපිටියේ ලබුයාය, මහනුගලන්ද වත්තේදී මෙම මෝටර් රථ නිෂ්පාදනය කර්මාන්ත ශාලාව ඉදි කරනු ලබයි.

    අධ්‍යාපන අමාත්‍ය අකිල් විරාජ් කාරියවසම් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

      ලොතරැයි මිල ඉහළට – ජනවාරියේ සිට රුපියල් 5 ක බද්දක්

      December, 30, 2016

      ලොතරැයි සඳහා නිෂ්පාදන බද්දක් හඳුන්වා දීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පියවර ගෙන තිබේ.

      මේ අනුව අහඹු ලෙස දිනුම් අදිනු ලබන අයිතිකරුවන් සඳහා අංක කරන ලද ප්‍රවේශ පත්‍ර විකිණීමෙන් සහ ත්‍යාග ප්‍රදානයෙන් මුදල් උපයනු ලබන සෑම ලොතරැයියක් සඳහා ම 15% ක් හෝ ප්‍රවේශ පත්‍රයකට රු. 5/- ක් යන දෙකෙන් වැඩි අගය මත නිෂ්පාදන බද්දක් අයකරනු ලබන බව මුදල් අමාත්‍යවරයා විසින් කළ නිවේදනයක සඳහන් වේ.

      අදාළ නිෂ්පාදන බදු අනුප්‍රමාණයන් 2017 ජනවාරි 01 දින සිට ගෙවිය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

        අද දවසේ කොටස් වෙළෙඳපොළට ආ දැවැන්තයා – මෙල්ස්ටාකෝප්

        December, 30, 2016

        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන මෙල්ස්ටාකෝප් ලිමිටඩ් අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වන ලදී. මේ අනුව එහි ද්විතීයික කොටස් වෙළෙඳ ගනුදෙනු අද (30) ආරම්භ විය.

        මෙල්ස්ටාකෝප් සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 1,165,397,072 ක් කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන පුවරුවේ, විවිධාංගීකරණය කරන ලද සමාගම් කාණ්ඩය යටතේ මේ අනුව ලැයිස්තුගත වේ.

        මෙල්ස්ටාකෝප් ලිමිටඩ් යනු මෙරට ප්‍රධාන පෙළේ සමාගම් රැසක මවු සමාගමයි. ඩිස්ටිලරීස්, ලංකා බෙල්, කොන්ටිනෙන්ටල් ලංකා ඉන්ෂුවරන්ස්, මෙල්ස්ටා රීගල් ෆිනෑන්ස්, බලංගොඩ වැවිල් සමාගම හා බ්‍රවුන්ස් බීච් හෝටලය, මෙල්ස්ටාකෝප් සෙවණ ලබන සමාගම් වේ.

        මීට අමතරව එයිට්කන් ස්පෙන්ස් සහ මැඩොල්සිම වැවිලි සමාගමේ කොටස් හිමිකාරීත්වයක් ද මෙල්ස්ටාකෝප් ලිමිටඩ් සතුවේ.

        මීට පෙර කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක්ව තිබූ ඩිස්ටිලරීස් සමාගමේ කොටස් හිමියන් හට, විශේෂ යෝජනාවක් මඟින් සිය කොටස් මෙල්ස්ටාකෝප් සමාගමේ කොටස් බවට පරිවර්තනය කිරීමට අවස්ථාව ලැබිණි. ඒ අනුව සිදුවූ ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙසින් මෙල්ස්ටෝකෝප් ලිමිටඩ්, සමූහයේ මවු සමාගම බවට පත් කෙරිණි.

        මෙරට සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා, මෙල්ස්ටාකෝප් සමූහයේ සභාපතිවරයා වන අතර ප්‍රමුඛ පෙළේ බැංකුකරුවකු වන අමිත ගුණරත්න මහතා සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා වේ.

        රුපියල් බිලියන 71 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන මෙල්ස්ටාකෝප් ලිමිටඩ්, කොළඹ කොටස් වෙළෙඳපාළ ඉහළම ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන සමාගම් අතර 8 වන ස්ථානය හිමි කර ගෙන තිබේ. සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් 2.82% කට එය හිමිකම් කියනු ලබයි.

        මෙල්ස්ටාකෝප් ලිමිටඩ් 2016 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වූ අවසාන සමාගමයි.

          CHC ඉන්වෙස්ට්මන්ට්, පෑන්ඒෂියා බැංකුවට සමුදෙයි

          December, 29, 2016

          පෑන්ඒෂියා බැංකු සමාගමේ තෙවැනියට විශාලතම කොටස්කරුවා වූ CHC ඉන්වෙස්ට්මන්ට් (පුද්) සමාගම, සිය සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය අද (29) දිනයේ දී විකුණා දැමීය.

          පෑන්ඒෂියා බැංකුවේ කොටස් මිලියන 29 කට CHC ඉන්වෙස්ට්මන්ට් විසින් හිමිකම් කියූ අතර, රු. 21.00 බැගින් අදාළ කොටස් ප්‍රමාණය මෙහිදී අලෙවි කරන ලදී.

          මේ අනුව පෑන්ඒෂියා බැංකුවේ කොටස් 29,073,325 ක් රු. 21.00 බැගින් වූ ගිවිසා ගනු ලැබූ ගනුදෙනුව තුළින් රුපියල් මිලියන 610.53 ක පිරිවැටුමක් අද වාර්තා විය.

          CHC ඉන්වෙස්ට්මන්ට් යනු පාර්ශව තුනක ඒකාබද්ධ ආයෝජන හස්තයකි. ගෝල්ෆේස් හෝටල් සමූහය, හයිඩ්‍රාමනී සමූහය සහ කෝටිපති ආයෝජක අජිත් දේවසුරේන්ද්‍ර යන පාර්ශව ත්‍රිත්වයෙන් CHC ඉන්වෙස්ට්මන්ට් (පුද්) සමාගම සමන්විත වේ.

          මෙම ගනුදෙනුවේ ගැණුම්කාර පාර්ශවය මෙතෙක් අනාවරණය වී නොමැත.

          අදාළ කොටස් ප්‍රමාණය පෑන්ඒෂියා බැංකුවේ නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 9.85% කි.

            ලෝක බැංකු ජාත්‍යන්තර සංවර්ධන ආයතනය සමඟ රජය ගිවිසුමකට අත්සන් තැබේ

            December, 29, 2016

            සමාජ ආරක්ෂණ ජාල වැඩසටහනක් දියත් කිරීම සඳහා වූ මූල්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනය අතර ණය ගිවිසුමක් අත්සන් තැබේ. මෙම ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ලෝක බැංකුව වෙනුවෙන් මෙරට නේවාසික අධ්‍යක්ෂිකා අයිඩා ස්වරායි රිඩ්ඩිහවු මහත්මිය අත්සන් කරන ලදී. අත්සන් තැබීම ඊයේ (28) මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

            මෙම වැඩසටහන 2017-2022 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ය. සමානාත්මතාව වර්ධනය කිරීම, රටේ සමාජ ආරක්ෂණ ජාලය විනිවිදභාවයට පත්කිරීම හා එහි කාර්යක්ෂමතාවය නැංවීම මඟින් අඩු ආදායම් ලාභී ජන කොටස්වලට මෙමගින් ප්‍රතිලාභ හිමිවේ.

            මුදල් අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සඳහා ඊට අදාළ අනෙකුත් ආයතන ද සම්බන්ධ කරගැනෙනු ඇත.

            යෝජිත වැඩසටහනේ සම්පූර්ණ වියදම අමෙරිකානු ඩොලර් මිලියන 75 වන අතර එම අරමුදල් සපයනු ලබන්නේ ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනය විසිනි.

            අද අත්සන් තැබුණ ගිවිසුම යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 53.7 ක මුදල් ශ්‍රී ලංකාව හිමිවන අතර මෙම ණය මුදල වර්ෂ 5 න් ආපසු ගෙවීමේ සහන කාලයක් යටතේ වසර 24 තුළ ගෙවා නිම කළ යුතුය. ඊට අමතරව 2.75% ක වාර්ෂික ස්ථාවර පොලී අනුපාතිකයකට යටත් වන අතර 0.25% වාර්ෂික ගාස්තුවක් නොයෙදූ ණය ශේෂය මත ගෙවිය යුතුය

              සන්ෂයින් හෝල්ඩිංග්ස් සහ කොමර්ෂල් බැංකුව කොටස් වෙළෙඳපොළට ජීවය දෙයි

              December, 28, 2016

              කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී ඒකක 25.68 ක වර්ධනයක් වාර්තා කරන ලදී. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 6,228.51 ක් ලෙසිනි.

              අද දින දක්නට ලැබුණු සුවිශේෂී කරුණ වූයේ රුපියල් බිලියන 1.7 ක පිරිවැටුමක් වාර්තා වීමයි. මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක වූයේ සන්ෂයින් හෝල්ඩිංග්ස් සමාගමේ සහ කොමර්ෂල් බැංකු සමාගමේ ගිවිසා ගත් කොටස් ගනුදෙනු කිහිපයකි.

              මෙහිදී සන්ෂයින් හෝල්ඩිංග්ස් හි කොටස් මිලියන 16 ක් රු. 47.50 බැගින් ගනුදෙනු වූ අතර රුපියල් මිලියන 760.73 ක පිරිවැටුමක් ඉන් වාර්තා විය.
              කොමර්ෂල් බැංකුවේ ගිවිසා ගත් ගනුදෙනු 3 ක් තුළින් රුපියල් මිලියන 723.17 ක පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී රු. 145.00 බැගින් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 4,987,382 ක් ගනුදෙනු විය. මීට අමතරව සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු තුළින් ද රුපියල් මිලියන 111.52 ක පිරිවැටුමක් වාර්තා කිරීමට කොමර්ෂල් බැංකුවේ කොටස් ගනුදෙනු අද දිනයේ දී සමත්ව තිබිණි.

              මේ අතර අද දිනයේ දී අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී විසින් හිමිකම් නිකුතුවක් නිවේදනය කරනු ලැබූ අතර දැනට පවතින සෑම කොටස් 5 කටම නව කොටසක් රු. 25.00 බැගින් නිකුත් කිරීමට නියමිත බව එහි සඳහන් විය. මේ හේතුවෙන් අද දිනයේ දී අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී කොටස් මිල රු. 35.90 සිට රු. 32.00 දක්වා 10.86% ක පහළ යාමක් වාර්තා කරන ලදී.

              අද දින පිරිවැටුමෙන් රු. මිලියන 842.86 ක් දේශීය මිල දී ගැනීම් හා රු. මිලියන 859.08 ක් දේශීය විකුණුම් වශයෙන් වාර්තා වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 884.82 ක් හා විදේශීය විකුණුම් රු. මිලියන 868.60 ක් ලෙසින් වාර්තා විය.

              අද දින කොටස් වෙළෙඳපොළ මිල මට්ටම් ඉහළ යාම කෙරෙහි කොමර්ෂල් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, HNB, ට්‍රාන්ස් ඒසියා හොටේල් හා ඩයලොග් සමාගම් ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.

                හෙටට පෙර බදු ගෙවන්නැයි දේශීය ආදායමෙන් ඉල්ලීමක්

                December, 28, 2016

                එකතු කළ අගය මත බදු, ජාතිය ගොඩනැගීමේ බදු, උපයන විට ගෙවීමේ බදු හා රඳවා ගැනීමේ බදු සම්බන්ධ ගෙවීම් 2016 දෙසැම්බර් 29 වැනි දිනට හෝ එදිනට පෙර සිදුකරන මෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන ජනතාවගෙන් ඉල්ලා සිටී.

                වසර අවසානයේ බැංකු කටයුතුවල පවතින කාර්ය බහුලත්වය නිසා ඇතිවන තදබදය වළක්වා ගැනීම පිණිස මෙසේ කටයුතු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

                  ද ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් වෙයි

                  December, 28, 2016

                  2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ මුදල් මණ්ඩලය වෙත පැවරී ඇති බලතල අනුව, ද ෆිනෑන්ස් සමාගම සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර තිබේ.

                  මේ අනුව පත් කර තිබෙන නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පහත පරිදි වේ.

                  බී.ඒ.ඩබ්. කුමාරසිරි - සභාපති/ විධායක නොවන අධ්‍යක්ෂ
                  නිමල් මාමදූව - විධායක අධ්‍යක්ෂ
                  ආර්. සිරිවර්ධන - විධායක නොවන අධ්‍යක්ෂ
                  ආචාර්ය ඩබ්.ජී. කරුණාදාස - විධායක නොවන අධ්‍යක්ෂ
                  එම්.කේ.ඩී.ඩබ්. අමරසිංහ - විධායක නොවන අධ්‍යක්ෂ

                  මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ ධූර කාලය 2017 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන අතර මේ දක්වා ද ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ ධූර දැරූ පහත නම් සඳහන් අයගේ ධූර කාලය 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වනු ඇත.

                  පී.ජේ. ජයසිංහ
                  එස්.ඒ.එස්. ගුණවර්ධන
                  එස්.ආර්. බණ්ඩාරනායක
                  පී.එල්.ඩී. සෙනෙවිරත්න
                  එම්.ආර්.ජේ. රොද්‍රිගෝ

                    ලොව පළමු තරු 10 හෝටලය ශ්‍රී ලංකාවේ ඉදිවෙයි

                    December, 28, 2016

                    එළඹෙන 2017 පෙබරවාරි 04 වන දින ආරම්භ වීමට නියමිත වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් ව්‍යාපෘතිය තුළ, ලොව ප්‍රථම තරු 10 හෝටලය තැනෙන බව අදාළ ව්‍යාපෘතියේ නිල ෆේස්බුක් පිටුව මගින් අනාවරණය කර සිටී.

                    එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ජාත්‍යන්තර හා දේශීය හෝටල් අධිකාරීන් වෙතින් තරු 10 කාණ්ඩය ලබා ගැනීමට ‘වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්‘ බලාපොරොත්තු වන බවත් ඒ අනුව ලොව ප්‍රථම තරු 10 හෝටල් සංකීර්ණය ශ්‍රී ලංකාවේ තැනෙනු ඇති බවත්ය.

                    කොළඹ 02 හි ඇරඹීමට යෝජිත මෙම ව්‍යාපෘතිය සඳහා 2017 පෙබරවාරි 04 වන දින මුල්ගල් තැබීමට නියමිතය. මහල් 117 කින් යුතු මෙම ව්‍යාපෘතිය දකුණු ආසියාවේ ඉදිවන උසම ගොඩනැගිල්ල ලෙසින් නම් වන අතර එය ලෝකයේ ම උසින් වැඩි ගොඩනැගිලි අතර 09 වන ස්ථානය ගැනීමට සමත්වන බව වාර්තා වේ. මෙම ගොඩනැගිල්ලේ උස මීටර 625 කි.

                    මෙරට ස්ථාපිත අල් අමාන් සමාගම විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ඇත.

                      ආදායම වසන් කරන්න අනුන්ගේ නමින් වාහන පාවිච්චි කරනවා VIDEO

                      December, 28, 2016

                      මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි කියයි

                      ඇතැම් පුද්ගලයින් සිය ආදායම වසන් කිරීම සඳහා අනුන්ගේ නම්වලින් වාහන පාවිච්චි කරනු ලබන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය. අද දෙරණ Biz 24x7 හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

                      මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජගත් චන්ද්‍රසිරි මහතා කියා සිටියේ විවෘත ලිපි ලේඛන මත තිබෙන වාහනවල අයිතිය පවරා ගැනීම සඳහා දී ඇති සහන කාලය 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන බවත් ඉන් පසුව කරනු ලබන පවරා ගැනීම් සඳහා දඩ මුදල් අයකරනු ලබන බවත්ය.

                      වාහනයක් මිල දී ගැනීමෙන් පසු දින 14 ක් ඇතුළත් එහි හිමිකාරීත්වය පවරා ගත යුතු බවත්, නැතහොත් අතිරේක සෑම දිනයකටම රු. 100 ක දඩ මුදලක් අය කරනු ලබන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

                      මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

                      https://www.youtube.com/watch?v=ZCJqo3UzU_k&feature=youtu.be