2016 දෙවන කාර්තුවේදී කොමර්ෂල් බැංකුව ශක්තිමත් වර්ධනයක් අත්පත් කරගනී

    August, 19, 2016

    අරමුදල්වල පිරිවැය වැඩිවීම සහ ආන්තිකයින් පටුවීම හමුවේ වුවද 2016 ජුනි 30 අවසන් වන මාස හයක කාලය තුළදී ශක්තිමත් වර්ධනයක් ලබාගැනීමට කොමර්ෂල් බැංකුව සමත්ව තිබේ.

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් මෙම මාස හයක කාලය තුළදී අගය එකතු කිරීමේ බද්දට VAT සහ ජාතිය ගොඩනැගීමේ බද්දට NBT පෙර රුපියල් බිලියන 10.391 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර මෙය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 18.91% ක වර්ධනයකි. මීට අමතරව, 2016 මුල් මාස හය තුළදී බැංකුව විසින් ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව රුපියල් බිලියන 42.935 ක දළ ආදායමක් වාර්තා කිරීමට සමත්ව තිබෙන අතර එය 18.46% ක වර්ධනයක් වේ.

    කොමර්ෂල් බැංකුව විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ 2016 මුල් අර්ධය තුළදී බදු වලට පෙර බැංකුවේ ලාභය රුපියල් බිලියන 8.895 ක්වී එය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 19.51%කින් වර්ධනය වූ අතර බදු වලට පසු ලාභය 25.54% කින් වර්ධනය වී රුපියල් බිලියන 6.488 ක්වූ බවයි.

    මෙම කාල සීමාවේදී බැංකුවේ පොලී ආදායම රුපියල් බිලියන 5.673 කින් හෙවත් 17.84% කින් රුපියල් බිලියන 37.461 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර මේ සඳහා දායකවී තිබෙන්නේ ණය පොතේ සිදුවූ ශක්තිමත් වර්ධනයයි. කෙසේවෙතත්, විශේෂයෙන්ම කාලීන තැන්පතු ඇතුළුව අරමුදල් පිරිවැය වැඩිවීම හමුවේ සලකා බලන මාස හය තුළදී බැංකුවේ පොලී වියදම 25.44% කින් රුපියල් බිලියන 21.350 ක් දක්වා වර්ධනය වී තිබේ. මේ හේතුවෙන් මෙම කාල සීමාව තුළදී බැංකුවේ ශුද්ධ පොලී ආදායම 9.10% කින් වර්ධනය වී රුපියල් බිලියන 16.111 ක්වී ඇත.

    බැංකුවේ ණය පොතේ ගුණාත්මක භාවය වර්ධනය වීම හේතුවෙන් හානි පූරණය වෙනුවෙන් වෙන්කරන සමස්ත ගාස්තු කැපී පෙනෙන ලෙස 17.55% කින් රුපියල් බිලියන 1.546 ක් දක්වා මෙම කාල සීමාව තුළදී අඩු කර ගැනීමට බැංකුවට හැකිවී තිබේ. මේ අතර, මෙම කාල සීමාව තුළදී බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම් රුපියල් බිලියන 2.189 කින් හෙවත් 11.65% කින් වර්ධනය වී රුපියල් බිලියන 20.982 ක්වී තිබෙන අතර ශුද්ධ මෙහෙයුම් ආදායම් 14.88% කින් වර්ධනය වී රුපියල් බිලියන 19.436 ක්වී තිබේ.

    ‘‘විශේෂයෙන්ම වෙළඳ පොළේ සහ නියාමන පරිසරයේ සිදුවෙමින් තිබෙන වෙනස්කම් හමුවේ මේ වසරේ මුල් මාස හය තුළදී බැංකුව විසින් ලබාගත් ප‍්‍රගතිය පිළිබඳව සතුටු වෙනවාල’’ යනුවෙන් මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, ධර්ම ධීරසිංහ මහතා සඳහන් කළේය. ‘‘මෙම සමහර වෙනස්කම් හමුවේ සලකා බලන කාලයේදී බැංකුවට සමහර ප‍්‍රතිපත්ති ගැලපුම් සිදුකිරීමට වුණා. කොමර්ෂල් බැංකුවේ මූලධර්මවල තිබෙන ශක්තිමත් ඔරොත්තුදීමේ හැකියාව නිසා මෙවැනි වෙනස්කම් වලට සාර්ථකව මුහුණ දීමට හැකිවී තිබෙනවා.’’

    කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා පෙන්වා දුන්නේ සලකා බලන කාල සීමාව වෙළඳපොළේ අඩු ද්‍රවශීලතාවයක් පැවති කාලසීමාවක් බවත් මේ කාලයේදී බැංකුවේ ආන්තිකයන් අඩුවූ බවයි. ‘‘මෙවැනි තත්ත්වයක් හමුවේ බැංකුව විසින් ලබාගත් වර්ධනය තුළින් පෙන්නුම් කරන්නේ බැංකුවේ තිබෙන මෙහෙයුම් ශක්තියයිල’’ යනුවෙන් දුරෙයිරත්නම් මහතා පැවසීය.

    2015 දෙසැම්බර් අවසාන කාලයේදී සිට බැංකුවේ සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 50.569 කින් හෙවත් 5.75% කින් හොඳින් වර්ධනය වී තිබෙන අතර 2016 ජුනි 30 වනදා වනවිට සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 930.374 ක්වී තිබීම කැපී පෙනේ. ගිය වසරේ ජුනි අවසානයේ සිට අවුරුද්දක කාල සීමාවකදී බැංකුවේ සමස්ත වත්කම් රුපියල් බිලියන 116.533 කින් හෙවත් 14.32% කින් වර්ධනය වී තිබේ.

    සලකා බලන කාල සීමාව තුළදී බැංකුවේ ණය කළඹ රුපියල් බිලියන 43.746 කින් හෙවත් 8.31% කින් රුපියල් බිලියන 569.913 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර මෙම වර්ධනය මාසයකට රුපියල් බිලියන 07 කට වැඩි මුදලක් ඉක්මවා තිබීම කැපී පෙනේ. 2016 මුල් මාස හය තුළදී බැංකුවේ සමස්ත තැන්පතු ප‍්‍රමාණය 2015 දෙසැම්බර් මාසයේ සිට මාසයකට රුපියල් බිලියන 9.325 ක ඉතාමත් ඉහළ සාමාන්‍ය අගයකින් වර්ධනය වී තිබෙන අතර දෙවන කාර්තුව අවසන් වනවිට සමස්ත තැන්පතු ප‍්‍රමාණය රුපියල් බිලියන 680.057 ක් වී තිබෙන්නේ 8.97% ක වර්ධනයක් ලබාගනිමිනි.

    සලකා බලන කාල සීමාව තුළ බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම් 20% කින් රුපියල් බිලියන 2.969 ක් දක්වා වර්ධනය වෙද්දී විනිමය ලාභ, අයකර ගැනීම් සහ ආයෝජන ආදායම් වලින් සමන්විත වන අනිකුත් ආදායම් රුපියල් බිලියන 0.350 කින් වර්ධනය වූ බවයි. මෙම කාල සීමාව තුළදී කාර්ය මණ්ඩලයට අදාළ පිරිවැය සහ අනිකුත් සාමාන්‍ය පිරිවැය වැඩිවීම හමුවේ සමස්ත වියදම් 10.59% කින් වර්ධනය වූ බව බැංකුව සඳහන් කරයි.

    සලකා බලන කාල සීමාව අවසානයේදී බැංකුවේ කොටසකට අදාළ ශුද්ධ වත්කම් ප‍්‍රමාණය රුපියල් 78.76 ක්වී තිබෙන අතර පළමු පෙළ ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය 11.91% ක් ලෙසත් පළමු පෙළ සහ දෙවන පෙළ ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය 15.43% ක් ලෙසත් නියාමන අවශ්‍යතාවයන් වන පිලිවෙලින් 5% සහ 10% ඉක්මවා තිබේ. 2015 වසර අවසන් වනවිට 2.74% ක් ලෙස පැවති දළ අක‍්‍රීය ණය ප‍්‍රමාණය සලකා බලන කාල සීමාව තුළදී 2.64% ක් දක්වා අඩුවී තිබෙන අතර ශුද්ධ අක‍්‍රීය ණය ප‍්‍රමාණය 1.41% ක සිට 1.37% ක් දක්වා අඩුවී තිබේ. පසුගිය වසරේ දෙවන කාර්තුව අවසන් වනවිට වසරට පෙර මෙම අනුපාතයන් පැවතියේ පිළිවෙලින් 3.15% ක් සහ 1.70% ක් ලෙසයි.

    බැංකුවේ පොලී ආන්තිකයන් පසුගිය මාස 12 ක කාල සීමාව තුළදී අඩුවී ඇත. මීට වසරකට පෙර තිබූ 3.70% ක්වූ පොලී ආන්තිකය පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසානයේදී 3.62% ක් දක්වා අඩුවූ අතර එය 2016 ජුනි මාසය අවසන් වනවිට 3.58% ක් දක්වා පහළ ගොස් තිබේ. බැංකුවේ වත්කම් පදනම සුවිශේෂී ලෙස වර්ධනය වීම හේතුවෙන් 2015 වසරේ වත්කම් වලට අදාළ ප‍්‍රතිලාභය (ඍද්* 2.05% ක සිට 1.98% ක් දක්වා සුළු වශයෙන් පහළ වැටුණි. මේ අතර, කොටස් වලට අදාළ ප‍්‍රතිලාභ (ඍදෑ* 2015 දෙසැම්බර් අවසානයේ තිබූ 16.90% ක සහ පසුගිය වසරේ ජුනි මාසය අවසානයේදී තිබූ 14.81% ක ප‍්‍රමාණයේ සිට 2016 ජුනි මාසය අවසන් වනවිට 18.58% ක් දක්වා වර්ධනය වී තිබේ.

    සලකා බලන කාල සීමාව තුළදී බැංකුවේ පිරිවැය-ආදායම් අනුපාතය 50.23% ක්වී තිබෙන්නේ බැංකු අංශයේ ඉතාමත් හොඳ අනුපාතයක් වාර්තා කරමිනි. මෙම මාස හය තුළදී බැංකුව විසින් සිදුකළ ප‍්‍රතිපාදන වෙන්කිරීම් 47.94% ක්වී තිබේ.

    සමූහයක් ලෙස කොමර්ෂල් බැංකුව සහ එයට අනුබද්ධ සමාගම් 2016 ජුනි මාසයෙන් අවසන් වන මාස 06 ක කාල සීමාව තුළදී රුපියල් බිලියන 8.981 ක බදු වලට පෙර ලාභයක් වාර්තා කර තිබෙන අතර එය 19.85% ක වර්ධනයකි. මෙම කාල සීමාව තුළදී සමූහයේ බදු වලට පසු ලාභය 25.79% කින් වර්ධනය වී රුපියල් බිලියන 6.521 ක්වී තිබේ.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 635 ක් සහ බැංකු ශාඛා 251 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටී. මේ අතර, සම්පූර්ණ හිමිකාරීත්වය සහිත මුදල් හුවමාරු මෙහෙයුම් කටයුතු ඉතාලියේ සිදුකිරීමට බැංකුවට පසුගියදා බලපත‍්‍රයක් හිමිවිය.