2016 වර්ෂයේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 4.4 ක වර්ධනයක්

    March, 17, 2017

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 සිව්වන කාර්තුව සහ 2016 වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර නිකුත් කොට ඇත.

    2016 වර්ෂය පුරාම අයහපත් කාලගුණික තත්ත්වයන් පැවතුණි. මෙම වර්ෂයේ දෙවන කාර්තුවේ පැවති ගංවතුර තත්ත්වයත් අනෙකුත් කාර්තුවල පැවති නියගයත් කෘෂිකාර්මික අංශයේ පසුබෑමට හේතු වී ඇත.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරන පරිදි 2016 වර්ෂය සදහා ඇස්තමේන්තු කරනු ලැබ ඇති ආර්ථික වර්ධන වේගය සියයට 4.4 කි. එසේ ම 2016 වර්ෂයේ සිව්වන කාර්තුව සදහා ඇස්තමේන්තු කරනු ලැබූ ආර්ථික වර්ධන වේගය සියයට 5.3 කි.

    2016 වර්ෂය සදහා ස්ථාවර මිල (2010) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 9,012,026 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. 2015 වර්ෂයේ දී මෙහි අගය රුපියල් මිලියන 8,633,890 ක් විය.

    2016 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකාර්මික කටයුතු විසින් දෙනු ලැබූ දායකත්වය සියයට 7.5කි. කර්මාන්ත හා සේවා අංශ පිළිවෙලින් සියයට 27.1 ක සහ සියයට 57.0ක දායකත්වයක් දළ දේශීය නිෂ්පාදිතය සදහා ලබා දී ඇති අතර භාණ්ඩ මත අයකෙරෙන ශුද්ධ බදු දළ දේශීය නිෂ්පාදිතය සදහා සියයට 8.4 ක දායකත්වයක් ලබා දී ඇත.

    2016 වර්ෂයේ දී කර්මාන්ත කටයුතු සියයට 6.7 ක සැලකිය යුතු වර්ධන වේගයක් වාර්තා කර ඇත. එසේ ම සේවා කටයුතු සියයට 4.2 ක වර්ධන වේගයක් වාර්තා කරන ලද නමුත් කෘෂිකාර්මික කටයුතු වාර්තා කර ඇත්තේ සියයට 4.2 ක ඝෘණ වර්ධන වේගයකි.

    කෘෂිකාර්මික අංශයේ වර්ධනයන්

    2016 වර්ෂය තුළ කෘෂිකාර්මික කටයුතු වාර්තා කර ඇත්තේ සියයට 4.2 ක ඝෘණ වර්ධනයකි. එහි දී “වී වගා කිරීම” සියයට -31.0 ක පසුබෑමක් වාර්තා කර ඇත. තව ද “තේ වගාව” , “රබර් වගාව” , “වී හැර අනෙකුත් ධාන්‍ය වගාව” පිළිවෙලින් සියයට -11.2ක්, සියයට -10.7 ක් සහ -10.5 ක් වශයෙන් පසුබෑම් වාර්තා කර තිබේ. මීට අමතරව “පළතුරු වගා කිරීම” සියයට -3.7ක්, “එළවලු වගා කිරීම” සියයට -2.1 ක්, පොල් ඇතුලත් වන“තෙල් සහිත පළතුරු බෝග වගාව” සියයට -0.6ක් වශයෙන් සුළු පසුබෑම් වාර්තා කරනු ලැබ ඇත. වර්ෂය තුළ සමස්තයක් වශයෙන් කෘෂිකාර්මික කටයුතු සදහා හිතකර කාලගුණික තත්ත්වයක් නොතිබුණ නමුත් කෘෂි ක්‍රියාකාරකම් අතුරෙන් සමහරක් 2016 වර්ෂය සඳහා ධන වර්ධන වේගයන් වාර්තා කර ඇත. එහිදී “මිරිදිය ධීවර කටයුතු” සියයට 9.9 කින්, “කුළුබඩු වගා කිරීම” සියයට 6.4 කින්, “සත්ත්ව නිෂ්පාදන” සියයට 6.3 කින් ධනාත්මකව වර්ධනය වී ඇත.

    කර්මාන්ත අංශයේ වර්ධනයන්

    2016 වර්ෂයේ දී කර්මාන්ත අංශයේ ආර්ථික කටයුතු සියයට 6.7 ක සැලකිය යුතු වර්ධනයක් අත් පත් කරගෙන ඇත. එහිදී ආර්ථිකය තුළ ඉහළ වැදගත්කමක් උසුලන “ඉදිකිරීම් කර්මාන්තය” සියයට 14.9 කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇත. එසේම “පතල් හා කැනීම් කර්මාන්තය” සියයට 14.4 ක ඉහළ වර්ධනයක් වාර්තා කර ඇත.

    කර්මාන්ත අංශයට වැඩි දායකත්වයක් සපයන නිමැවුම් කර්මාන්ත 2016 වර්ෂයේ දී සියයට 1.7 ක වර්ධනයක් වාර්තා කර ඇත. එහි දී “මූලික ලෝහ සහ ව්‍යුවහාත්මක ලෝහ නිෂ්පාදන ” , “රබර් හා ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය”,“යන්ත්‍ර සුත්‍ර හා උපකරණ නිෂ්පාදනය” පිළිවෙලින් සියයට 28.7ක්, සියයට 17.9 ක් සහ සියයට 14.1 ක් වශයෙන් ඉහළ වර්ධන වේගයන් වාර්තා කර ඇත. ප්‍රධාන කර්මාන්ත අතුරෙන් “ආහාර පාන වර්ග සහ දුම්කොළ නිෂ්පාදනය” සහ “රෙදිපිළි, නිමි ඇදුම්, සම්භාණ්ඩ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන” යන කර්මාන්ත පිළිවෙලින් සියයට -2.5 ක් සහ සියයට -0.2ක් වශයෙන් පසුබෑම් වාර්තා කර ඇත.

    තව ද “විදුලිය, ගෑස්,වාෂ්ප සහ වායු සැකසුම් සැපයුම ” සියයට 8.4ක සතුටුදායක වර්ධන වේගයක් වාර්තා කර තිබේ.

    සේවා අංශයේ වර්ධනයන්

    දළ දේශීය නිෂ්පාදිතයට වැඩි ම දායකත්වය සහිත (සියයට 57.0) සේවා අංශයේ ආර්ථික කටයුතු 2016 වර්ෂයේ දී සියයට 4.2ක වර්ධන වේගයක් වාර්තා කර ඇත. සේවා අංශයේ ‍මෙම සමස්ත වර්ධනය සදහා ඉහළ දායකත්වයක් ලබා දී ඇති “මුල්‍ය හා මුල්‍ය අතරමැදි සේවා කටයුතු”,“රක්ෂණ කටයුතු”,“විදුලි සංදේශ කටයුතු”, “ගුවන්විදුලි,රූපවාහිනි විකාශන සහ එම නිෂ්පාදන කටයුතු” ,“අධ්‍යාපන සේවා” සහ “පරිඝණක වැඩසටහන් හා මෘදුකාංග නිෂ්පාදනය සහ තොරතුරු තාක්ෂණ ක්‍රියාකාරකම්” පිළිවෙලින් සියයට 12.4 ක්, සියයට 8.5 ක්, සියයට 8.3 ක්, සියයට 7.7ක්, සියයට 7.5 ක් සහ සියයට 7.1 ක් වශයෙන් ඉහල වර්ධන වේගයන් වාර්තා කර ඇත.

    සිව්වන කාර්තුවේ වර්ධනයන්

    ජන ලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කොට ඇති 2016 වර්ෂයේ සිව්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන 2,526,792 කි. එය 2015 වර්ෂයේ සිව්වන කාර්තුවට සාපේක්ෂව සියයට 5.3 ක වර්ධනයක් වාර්තා කර ඇත. එහිදී කෘෂිකාර්මික කටයුතු සියයට 8.4ක පසුබෑමක් වාර්තා කරන අතරතුරදී කර්මාන්ත හා සේවා අංශ පිළිවෙළින් සියයට 9.2 ක සහ සියයට 4.6 ක ධන වර්ධන වේගයන් වාර්තා කරයි.

    2016 සිව්වන කාර්තුවට සහ 2016 වර්ෂයට අදාල ජාතික ගිණුම් ඇස්තමේන්තු පිළිබඳව විස්තරාත්මක තොරතුරු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ. www.statistics.gov.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කොට ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.