‘World Export Centre’ ගොඩනැගිලි ද්විත්වයට හේලීස් මුලපුරයි

    December, 28, 2016

    ශ‍්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වූ සහ අපනයනයන් වෙත වටිනාකමක් එකතු කිරීමේ පුරෝගාමී ව්‍යාපාරය සමූහය වූ හේලීස් තම නවතම ව්‍යාපෘතිය වන ‘World Export Centre’ ගොඩනැගිලි ද්විත්වයේ ආරම්භය නිවේදනය කරන ලදී.

    ලොව විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පයේ හැඩතල ශ‍්‍රී ලංකාව තුළ සනිටුහන් කරමින් ඉදිකෙරෙන මෙම ගොඩනැගිලි ද්විත්වය මහල් 55 බැගින් වර්ග අඩි මිලියන 3.8ක වාණිජ කාර්යාල පරිශ‍්‍රයන් සඳහා ඉඩ කඩ ලබා දෙයි.

    ඉදිකිරීමට යෝජිත මෙම ගොඩනැගිලි ද්විත්වය සේවකයින් 20,000කට සේවා පහසුකම් සපයන අතර මෝටර් රථ 2000ක් නවතා තැබිය හැකි රථ ගාලකින් සහ සෙසු සපහසුකම් සැපයීම සඳහා මහල් 3කින්ද සමන්විත වනු ඇත. ශ‍්‍රී ලංකාව අපනයන ආර්ථිකයක් කරා යොමු වී ඇති තීරණාත්මක අවස්ථාවක ඉදිවෙන මෙම අපනයන මධ්‍යස්ථානය ශ‍්‍රී ලාංකීය අපනයන ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන බැවින් අපනයන දිරිගැන්වීම සඳහා මෑතකදී ආරම්භ කරන ලද මෙබඳු ව්‍යාපෘතීන් සඳහා රජය ලබා දුන් සහාය මෙම ව්‍යාපෘතිය සඳහාද එලෙසම ලබාදීම අත්‍යාවශ්‍ය වන්නේ අපනයන ආර්ථිකයක පදනම යටිතල පහසුකම් හරහා සකස් වන බැවිනි.

    එමෙන්ම මෙම ගොඩනැගිලි ද්විත්වය ශ‍්‍රී ලාංකීය හා ගෝලීය අපනයනකරුවන්ට තම අපනයන නිෂ්පාදන හා සේවා දෙස් විදෙස් ගැණුම්කරුවන්ට ප‍්‍රදර්ශනය කිරීමට තැනෙන වේදිකාවක්ද වන බැවින් ශ‍්‍රී ලංකාව ගෝලීය අපනයන ක්ෂේත‍්‍රයේ අනාගත කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැංවීමටද මෙබඳු ව්‍යාපෘතීන් හරහා හැකියාව ලැබෙනු ඇත.

      ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150ක සහන ණයක්

      December, 28, 2016

      හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා වූ ආයෝජන වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 150 ක සහන ණය මුදලක් ලබා දීම වෙනුවෙන් වූ ඊට අදාළ ගිවිසුම් සඳහා ඊයේ (27) මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණ.

      මෙම ගිවිසුමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මුදල් අමත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා අත්සන් කළ අතර, ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි මෙරට නේවාසික අධ්‍යක්ෂිකා ශ්‍රී විදෝවතී මහත්මිය අත්සන් කළාය.

      මෙම ආයෝජනයේ සම්පූර්ණ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 440ක් වන අතර ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 300ක් ආසියානු සංවර්ධන බැංකුවෙන් අදියර දෙකක් යටතේ සැපයේ. එහි පළමු කොටස සඳහා වන ගිවිසුම 2014 වසරේ නොවැම්බර් මස දී අත්සන් තැබිණි. අද අත්සන් තැබුණේ එහි දෙවැනි අදියර වෙනුවෙනි. ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 140ක මුදල විදුලි බල මණ්ඩලය මගින් දරනු ඇත.

      මෙම ණය මුදලේ දෙවන අදියර යටතේ පහත සඳහන් කටයුතු සිදුකිරීමට නියමිතය.

      විදුලිය බෙදාහැරීමේ යටිතල පහසුකම් දියුණු කිරීම,

      මධ්‍ය වෝල්ටීයතා ජාලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම,

      මනු කියවීම් උප නියමු ව්‍යාපෘතියක් මඟින් බලය කාර්යක්ෂම කිරීම සඳහා

      පාරිභෝගිකයන්ගේ පාර්ශවය කළමනාකරණය කිරීම.

      මෙම වැඩසටහන යටතේ ඌව පළාත හැර දිවයිනේ අනෙකුත් සියලුම පළාත්වලට ඍජු ප්‍රතිලාභ ලැබේ.

        ධම්මික පෙරේරා ‘ද බීච් රිසෝට්‘ අත්පත් කර ගනී

        December, 28, 2016

        අමායා ලෙසර් පීඑල්සී හි අනුබද්ධ සමාගමක් වූ ‘ද බීච් රිසෝට් ලිමිටඩ්‘ හි කොටස් හිමිකාරීත්වය මුළුමනින්ම විකුණා දැමීමට අමායා ලෙසර් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කටයුතු කරන ලදී. මේ අනුව රුපියල් මිලියන 330 කට ‘ද බීච් රිසෝට් ලිමිටඩ්‘ හි පූර්ණ අයිතිය ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් අත්පත් කර ගෙන ඇත.

        ධම්මික පෙරේරා, අමායා ලෙසර් පීඑල්සී සහ ද බීච් රිසෝට් ලිමිටඩ් යන සමාගම් දෙකේ ද අධ්‍යක්ෂවරයෙකු වේ.

        අමායා ලෙසර් පීඑල්සී හි සභාපති මොහාන් පණ්ඩිතගේ විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇති පරිදි ‘ද බීච් රිසෝට් ලිමිටඩ්‘ හි කොටස් 6,176,790 ක් ඊයේ (27) දින රු. 330,111,191/- කට අලෙවි කර ඇත. මෙය සමාගමේ සමස්ත ප්‍රාග්ධනයෙන් 84.30% කි.

          සොක්‍රටීස් ජාත්‍යන්තර සම්මානයෙන් සාගර ගුණවර්ධන පිදුම් ලබයි

          December, 28, 2016

          වෙනෝරා සමූහ සමාගමේ සභාපති ඉංජිනේරු සාගර ගුණවර්ධන මහතා පසුගියදා එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් හි පැවති සොක්‍රටීස් ජාත්‍යන්තර සම්මාන උළෙලේ දී සම්මානයෙන් පිදුම් ලැබීය.

          යුරෝපීය ව්‍යාපාරික එකමුතුව විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේ දී ‘ව්‍යාපාරික හා ආර්ථික‘ කාණ්ඩය යටතේ සිදුකරන ලද බුද්ධිමය සංවර්ධන දායකත්වය වෙනුවෙන් සොක්‍රටීස් ජාත්‍ය්නතර සම්මානය සාගර ගුණවර්ධන මහතාට හිමි විය.


          https://www.youtube.com/watch?v=cK6cclExShM

            මුදල් ප්‍රතිපත්ති විවරණය 30 දා

            December, 27, 2016

            ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෙසැම්බර් මාසය සඳහා සිදුකරනු ලබන මුදල් ප්‍රතිපත්ති විවරණය 2016 දෙසැම්බර් 30 වන සිකුරාදා දින පස්වරු 6.00 ට නිවේදනය කරනු ලබන බව දැනුම් දී සිටී.

            ශ්‍රී ලංකා මහ බැංකුව මාසිකව මෙම විවරණය සිදුකරනු ලබන අතර 2016 වසර සඳහා සිදුකරනු ලබන අවසන් මුදල් ප්‍රතිපත්ති විවරණය මෙයයි.

              පීපල්ස් ලීසිං සමාගම තම සියවන ශාඛාව හංවැල්ල නගරයේදී උත්සවශී‍්‍රයෙන් විවෘත කරයි

              December, 27, 2016

              ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ සියවන (100) ශාඛාව එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ඞී.පීි. කුමාරගේ මහතාගේ ආරාධනයෙන් පීපල්ස් ලීසිං සමාගමේ සභාපති, හේමසිරි ප‍්‍රනාන්දු මහතා හා අධ්‍යක්ෂ මණ්ඩලයේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා හංවැල්ල නගරයේදී (132/3, කොළඹ පාර, හංවැල්ල) උත්සවශී‍්‍රයෙන් විවෘත කෙරුණි. මෙම අවස්ථාවට පීපල්ස් ලීසිං සමාගමේ අනුප‍්‍රාප්තික ප‍්‍රධාන විධායක නිලධාරී, සබි‍්‍ර ඊබ‍්‍රහිම් මහතා, ජ්‍යෙෂ්ඨ කළමනකාරීත්වය, විශේෂ ආරාධිතයින් හා ගනුදෙනුකරුවෝ සහභාගී වූහ. පීපල්ස් ලීසිං සමාගමේ පළමු ශාඛාව විවෘත කෙරුණේ 1996දී මහනුවර නගරයේදීය.

              පීපල්ස් ලීසිං සමාගමේ සියවන ශාඛාව විවෘතකිරීමේ උත්සවය අමතමින් එම සමාගමේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසුවේ, ‘පීපල්ස් ලීසිං සමාගම මෙරට මූල්‍ය සේවා සපයන බැංකු නොවන ආයතන අතර වසර 14ක් තරම් කාලයක් පෙරමුණේ පසුවන්නේ පාරිභෝගික අවශ්‍යතා මැනවින්ම හඳුනාගෙන කිසිදු අසීරුතාවකින් තොරව සියලූ කාර්යයන් ඉටුකරදීම හා මෙරට ජන ජීවිතය නගාසිටුවීමෙහි පෙරමුණගත් ආයතනයක් ලෙසින් ගනුදෙනුකරුවන්ගේ දැඩි විශ්වාසයට පාත‍්‍රවීමෙනුයි. අප සමාගම ලක්වැසියන් වෙනුවෙන් සපයන්නේ අසමසම මූල්‍ය සේවාවක්. එහෙයින් එම සුවිශේෂී සේවාව මෙරට සෑම ප‍්‍රදේශයකම ජීවත්වන පුරවැසියෙකුටම ලබාදීම අප සමාගමේ අරමුණක්. වසර විස්සක් තරම් කාලයක් තුළ සෑම ප‍්‍රධාන නගරයකම පාහේ පීපල්ස් ලීසිං ශාඛාවක් ඇරඹුවේ එම අරමුණ ජයගැනීමක් ලෙසින්. එමෙන්ම ශාඛා ජාලය තවත් පුළුල් කරමින් එහි දෙවන ශතකයේ ශාඛා ඇරඹීමත් මෙතැන් සිට සිදුවෙනවා. එමගින් මෙරට ජනතාවට තම මූල්‍ය කටයුතු වඩාත් කාර්යක්ෂමව හා පහසුවෙන් සිදු කරගත හැකිවනු ඇත.’ යන්නය.

              ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA - (lka) ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම් 2ක් හිමි එකම මූල්‍ය සමාගම මෙන්ම ආසියාවේ වඩාත් විශ්වසනීය මූල්‍ය සන්නාම අතරට එක්වීමටද පීපල්ස් ලීසිං සමාගම සමත්ව සිටී.

              එහි විශේෂිත මූල්‍ය සේවාවන් අතර ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading) සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රොෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් යන සමාගම් එහි අනුබද්ධිත ආයතන වෙති. සියලූ මූල්‍ය සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකිවීමෙන් ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය සේවාවන් කඩිනමින් හා අවම පිරිවැයකින් සපුරාගැනීමේ අවස්ථාවසැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂත්වය වේ.

              පීපල්ස් ලීසිං සමාගමේ 100වන ශාඛාව විවෘතකිරීමෙන් පසු එම සමාගමේ සභාපති, හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් පළමු ගනුදෙනුව සිදු කළ අවස්ථාව. එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ඞී.පීි. කුමාරගේ මහතා හා අනුප‍්‍රාප්තික ප‍්‍රධාන විධායක නිලධාරී, සබි‍්‍ර ඊබ‍්‍රහිම් මහතා ජායාරූපයෙහි පසෙකින් සිටිති.

                උඩ ගිය ඩොලරය අද පහළට එයි

                December, 27, 2016

                එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (27) දිනයේ දී රු. 151.55 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාත සටහනෙහි මේ බව සඳහන් වේ.

                මීට පූර්ව දින විනිමය අනුපාත සටහනට අනුව 2016 දෙසැම්බර් 23 දින ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු. 152.97 ක් පරිද්දෙනි. එදින ඩොලරයක් සඳහා ගැනුම් මිල රු. 148.60 ක් ලෙසින් වාර්තා වු අතර අද දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 147.79 ක් දක්වා කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබේ.

                ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී නිකුත් කරන ලද විනිමය අනුපාත සටහන පහත දැක්වේ.

                  තොරතුරු තාක්‍ෂණ ශිෂ්‍ය සමාජ සවිබලගැන්වීම තවදුරටත්

                  December, 27, 2016

                  දිවයින පුරා පාසැල් මට්ටමින් ස්ථාපිත කර තිබෙන තොරතුරු තාක්‍ෂණ ශිෂ්‍ය සමාජ තව දුරටත් සවිබල ගැන්වීමට පියවර ගැනේ.

                  ඒ අනුව පාසැල් ප්‍රජාව සඳහා ඩිජිටල් අධ්‍යාපනය සහ ඩිජිටල් තාක්‍ෂණය පිලිබදව දැනුම ලබා දෙනු ඇත.

                  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්‍ෂණ ශාඛාව ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා තිබේ.

                  මෙහිදී නවීන තොරතුරු තාක්‍ෂණ උපකරණ භාවිතය පිළිබදව ද ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන බව නියෝජිතායතනය පවසයි.

                  විශේෂයෙන්ම මෙහිදී පාසැල් ප්‍රජාවට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ පවතින අනාගත අවස්ථාවන් උදාකර ගැනීම මෙන්ම සයිබර් අවකාශය තමාට මෙන්ම සමාජයට හිතකර ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිලිබදවද දැනුවත් කරන බවද නියෝජිතායතනය පවසයි.

                  දිස්ත්‍රික්කයක් ආවරණය වන පරිදි අධ්‍යාපන කලාප මට්ටමින් එක් වරකට ‍පාසැල් 15කට පමණ මෙම පුහුණුව ලබා දෙන අතර තෝරාගත් පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගුරුමහත්ම මහත්මීන් විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන පරිපාලන නිලධාරීන් මේ සදහා එක්කර ගැනේ.

                  මේ වන විට අනුරාධපුරය පොළොන්නරුව රත්නපුරය කෑගල්ල මාතලේ මහනුවර මොණරාගල බදුල්ල නුවරඑළිය හා පුත්තලම යන දිස්ත්‍රික්ක වල මෙම වැඩසටහන සාර්ථකව අවසන් කර තිබේ.

                  මේ වන විට තොරතුරු තාක්‍ෂණ ශිෂ්‍ය සමාජ ස්ථාපිත කර නොමැති පාසැල් වල එම සමාජ ස්ථාපිත කිරීමටද මෙහිදී පියවර ගැනේ.

                    ආර්ථික ඩිජිටල්කරණයෙන් විශ්වසනීය සහ වේගවත් රාජ්‍ය සේවයක්

                    December, 26, 2016

                    ආර්ථික ඩිජිටල්කරණ ක්‍රියාවලිය මඟින් වෙළෙඳපොළට හා තාක්ෂණයට කඩිනමින් ප්‍රවේශ විය හැකි පසුබිමක් නිර්මාණය වන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

                    මානව කාර්යයක්ෂමතාව වැඩි දියුණු කරන අතරතුර, අයුතු ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමේ පුරුදු මගහරවාලමින් රාජ්‍ය පාලනයේ විනිවිධභාවය හා රාජ්‍ය සේවා සැපයීම දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව වැනි මැදි ආදායම් ලබන රටකට ඩිජිටල්කරණය යහපත් පදනමක් බව ද හෙතෙම පෙන්වා දෙයි.

                    ආර්ථිකය ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනයට 2017 අයවැය මගින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 15,000කි. මේ යටතේ බදු පරිපාලනය සහ බදු පදනම ව්‍යාප්ත කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව ලැබේ. එසේ ම බදු ගෙවන්නන් වෙනුවෙන් ඊ ලිපිගොනු සහ ඊ ගෙවීම් සඳහා කාර්යාලයක් ද ස්ථාපනය කෙරේ.

                    දැනට ක්‍රියාත්මක විද්‍යුත් හැඳුනුම්පත මගින් මේ සඳහා විශාල පිටිවහලක් ලැබේ. මීට අමතරව ආර්ථික ඩිජිටල්කරණය යටතේ සෑම පුද්ගලයකුට ම ඩිජිටල් අත්සනක් ලබා දෙනු ඇත. රටේ වෙළෙඳ කටයුතු පුළුල් කිරීම සඳහා එය පහසුකමකි.

                    ජාතික ගෙවීම් වේදිකාවක් මගින් අන්තර් ජාලය ඔස්සේ සියලු ගෙවීම් කිරීමේ ක්‍රමවේදයක් මේ යටතේ සකස් කෙරෙන අතර 2017 වසරේ දී ජාතික තොරතුරු මධ්‍යස්ථානයේ කටයුතු ද ආරම්භ කෙරේ.

                    රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමයක් මගින් සම්බන්ධ කිරීමට අපේක්ෂිත ය. මේ සියලු ක්‍රියාකාරකම් අතරතුර අන්තර් ජාතික සහයෝගීතාව මත සයිබර් ආරක්ෂාව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

                      දින 9 කට පසු කොළඹ කොටස් උඩ යයි

                      December, 23, 2016

                      කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6.91 කින් ඉහළ ගොස් ඒකක 6,216.56 ක් ලෙසින් වාර්තා විය. අඛණ්ඩව දින 9 ක් පුරාවට පහළ වැටීමෙන් පසු කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඉහළ ගිය පළමු අවස්ථාව මෙයයි.

                      අද දින දෛනික පිරිවැටුම රුපියල් මිලියන 125.12 ක් ලෙසින් වාර්තා වූ අතර වසරේ අඩුම පිරිවැටුම් අගය වූ රුපියල් මිලියන 114.51 ඊයේ (22) දිනයේ දී වාර්තා විය. අද දිනය තුළ දේශීය මිල දී ගැනීම් රු. මිලියන 94.30 ක් හා දේශීය විකිණුම් රුපියල් මිලියන 90.09 ක් ලෙසින් වාර්තා වූ අතර විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 30.55 ක් හා විදේශීය විකිණුම් රුපියල් මිලියන 34.76 ක් ලෙසින් සටහන් විය.

                      දිනයේ වැඩිම පිරිවැටුම කාගිල්ස් සමාගමේ කොටස් ගනුදෙනු තුළින් වාර්තා වූ අතර එය රුපියල් මිලියන 39.86 ක් ලෙසින් දැක්විණි. මීට අමතරව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි රුපියල් මිලියන 33.36 ක වටිනාකමකින් යුතු කොටස් අද දිනයේ දී ගනුදෙනු වී තිබිණි. ඒ හැරෙන්නට සෙසු එකදු සමාගමක හෝ කොටස් ගනුදෙනු තුළින් රුපියල් මිලියන 10 ඉක්ම වූ පිරිවැටුමක් වාර්තා වී නොතිබිණි.