ඩොලරයේ විකුණුම් මිල රුපියල් 152 ඉක්මවයි

    December, 23, 2016

    ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලරයක් සඳහා වන විකුණුම් මිල රු. 152 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඊයේ දිනයේ (22) දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන ගැනුම් මිල රු. 148.35 ක්වූ අතර එහි විකුණුම් මිල දැක්වුණේ රු. 152.12 ක් පරිද්දෙනි.

    මේ අතර අද (23) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාත සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 148.602 ක් ලෙසින් දැක්වුණු අතර විකුණුම් මිල රු. 152.37 ක් ලෙසින් සටහන් විය.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී මුදල් තැරැව්කරුවකු කියා සිටියේ ඩොලරයක් සඳහා ගැනුම් සහ විකුණුම් අනුපාතික එසේ වුවද, අද දිනයේ දී ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ස්ථානීය ගනුදෙනු මිල (Spot rate) රු. 149.76 ක් බවයි.

    පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී නිකුත් කරන ලදි විනිමය අනුපාත සටහනයි.

      ලංකාවේ සිට තුන් විදියකට අහස අල්ලන්න මාන බලන අල් අමාන්ගේ වගතුග

      December, 23, 2016

      වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් මේ දිනවල කාගේත් අවධානය යොමුව තිබෙන ව්‍යාපෘතියකි. කොළඹ 02 ඇරඹීමට යෝජිත මෙම ව්‍යාපෘතිය සඳහා 2017 පෙබරවාරි 04 වන දින මුල්ගල් තැබීමට නියමිතය. මහල් 117 කින් යුතු මෙම ව්‍යාපෘතිය දකුණු ආසියාවේ ඉදිවන උසම ගොඩනැගිල්ල ලෙසින් නම් වන අතර එය ලෝකයේ ම උසින් වැඩි ගොඩනැගිලි අතර 09 වන ස්ථානය ගැනීමට සමත්වන බව වාර්තා පෙන්වා දේ. මෙම ගොඩනැගිල්ලේ උස මීටර 625 ක් බව පැවසේ.

      කෙසේ වෙතත් අද දෙරණ Biz මඟින් මෙහිදී අනාවරණය කරනුයේ මෙතෙක් මේ සම්බන්ධයෙන් පළ නොවූ කරුණු කිහිපයකි.

      මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනුයේ අල් අමාන් සමූහය විසිනි. බැලූ බැල්මට මෙය මැදපෙරදිග සමාගම් ලෙස පෙනුන ද අල් අමාන් සමූහයේ නිල වෙබ් අඩවියට අනුව එය 2001 වසරේ දී ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද ජාත්‍යන්තර වෙළෙඳ සමාගමකි. එහි අනු ශාඛාවක් මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථාපිත කර ඇත.

      කොළඹ නගරය තුළ ඉදිවන මෙම දැවැන්ත ගොඩනැගිල්ලට, සුඛෝපභෝගී නේවාසික මහල් නිවාස, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන ශාලා, තරු හතේ හෝටලයක්, බැංකු හා අධ්‍යාපනික ආයතන, භාණ්ඩ අලෙවිසැල්, විනෝදාස්වාදය සඳහා වෙන්වූ ස්ථාන යනාදී වශයෙන් ආර්ථික කලාපයක් සඳහා අවශ්‍ය සියලූම අංගෝපාංගයන් අයත් වනු ඇත.2020 වසරේ දී මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට අල් අමාන් සමූහය සැලසුම් කර තිබේ.

      වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් ව්‍යාපෘතියට අමතරව තවත් දැවැන්ත ව්‍යාපෘති දෙකකට, අල් අමාන් සමූහය මේ වන විට අත ගසා ඇත. මෙයින් එක් ව්‍යාපෘතියක් වනුයේ උතුරු කොළඹ වෙරළබඩ තීරයට යාබදව ඉදිවන Aman 101 – Royal Empire ව්‍යාපෘතියයි. මහල් 101 කින් යුතු මෙම පරිශ්‍රය ද විනෝදාස්වාද කලාප, සුඛෝපභෝගී මහල් නිවාස, අලෙවි සැල් යනාදියෙන් සමන්විත වනු ඇත.

      අල් අමාන් සමූහය ක්‍රියාත්මක කිරීමට නියමිත අනෙක් ව්‍යාපෘතිය වනුයේ යාපනය අර්ධද්වීපයේ මණ්ඩතිවු දූපතේ ඉදිකිරීමට යෝජිත Aman Royal Island ව්‍යාපෘතියයි. මෙය තරු පහේ හෝටල් සහ නේවාසික පහසුකම්වලින් සමන්විත පරිශ්‍රයකි. මහල් 37 කින් යුතු මෙම ව්‍යාපෘතිය, මණ්ඩතිවු දූපතේ හෙක්ටයාර 33 ක් පුරා ව්‍යාප්ත වීමට නියමිතය. මේ සඳහා ඇතුළත් වන විශේෂාංග අතරට Tower Hotel building, Apartment Complex, Water Park, Water Sports 9 hole Golf course යනාදිය අන්තර්ගත වනු ඇත.

      වෝටර් විලා, බීච් විලා, නිදන කාමර 5 කින් යුතු බංගලා යනාදී අති සුඛෝපභෝගී නේවාසික පහසුකම් මෙහි ඇතුළත් බව අල් අමාන් සමූහයේ නිල වෙබ් අඩවිය පෙන්වා දේ.

        වැට් නිසා උද්ධමනය ඉහළට

        December, 23, 2016

        2016 නොවැම්බර් මාසය තුළ දී එකතු කළ අගය මත පනවන ලද බදු අනුපාතයන්ගේ නව හඳුන්වා දීම හේතුවෙන් මද්‍යසාර පාන සහ දුම්කොළ, සෞඛ්‍ය සහ සන්නිවේදන උප කාණ්ඩවල මිල ඉහළ යාම් දක්නට ලැබුණු බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දේ.

        මෙහිදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන ලද ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 ඔක්තෝබර් මාසයේ දී වාර්තා කළ සියයට 5.0 සිට නොවැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගොස් තිබෙන අතර මාසික වෙනස්වීම සැලකූ විට ජාතික පාරිභෝගික මිල දර්ශකය 2016 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ දර්ශක අංග 114.47 සිට 2016 නොවැම්බර් මාසයේ දී දර්ශක 116.6 දක්වා ඉහළ ගොස් තිබේ.

        මෙම මාසික ඉහළ යාම සඳහා ආහාර නොවන අයිතම කාණ්ඩයේ රෙදිපිලි හා පාවහන්, නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු, සෞඛ්‍ය, සන්නිවේදන, විනෝදාත්මක හා සංස්කෘතික හා විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩයන් හි මිල ගණන් ඉහළ ගොස් ඇත.

        තවද ප්‍රවාහන සහ ආපන ශාලා සහ හෝටල් උප කාණ්ඩවල මිල ගණන් සුළු වශයෙන් ඉහළ ගිය අතර අධ්‍යාපන උප කාණ්ඩයේ මිල ගණන් නොවෙනස්ව පැවතුණි. ආහාර කාණ්ඩය තුළ සහල්, පොල්, එළවළු, දෙහි සහ අර්තාපල් මිල ගණන් නොවැම්බර් මාසය තුළ දී වැඩි වී ඇත.


          කොමර්ෂල් බැංකුව 10 වන වරටත් ‘වසරේ බැංකුව’ යන සම්මානය ලන්ඩනයේදී ලබා ගනී

          December, 23, 2016

          ලන්ඩනයේ පිහිටි හිල්ටන් හෝටලයේ අති උත්කර්ෂවත් අයුරින් ‘ද බෑන්කර්’ සඟරාව විසින් සංවිධානය කර තිබූ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ‘වසරේ බැංකුව’ ට හිමි සම්මානය ලබාගැනීම සඳහා කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී ජෙගන් දුරෙයිරත්නම් මහතා මේ මාසයේ මුලදී ලන්ඩනයට ගියේය.

          මෙම ගෞරවණීය සම්මානය කොමර්ෂල් බැංකුව දිනාගත් 10 වන අවස්ථාව මෙය වන අතර මෙලෙස මෙම සම්මානයෙන් පිදුම් ලබා තිබෙන්නේ ලෝකයේ බැංකු කිහිපයක් පමණි. ජාත්‍යන්තර බැංකු සම්මාන ප‍්‍රදානයේ ‘ඔස්කාර්’ සම්මාන ප‍්‍රදානය ලෙසින් සැලකෙන මෙය 1926 දී ආරම්භ කරන ලද ‘ද බෑන්කර්’ සඟරාවේ නිර්මාතෘ මෙන්ම 1945 සිට 1958 දක්වා ෆයිනෑන්ෂියල් ටයිම්ස් සඟරාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළ බ්‍රෙන්ඩන් බ‍්‍රැකන් මහතා සිහිවීම පිණිස ”බ‍්‍රැකන්ස්” සම්මාන ප‍්‍රදානය ලෙසින්ද හඳුන්වයි.

          මෙම සම්මාන සඳහා සිදුකරන සංයුක්ත ඇගැයීම සඳහා ඉපයීම්, වත්කම් සහ පළමු පෙළ ප‍්‍රාග්ධන වර්ධනය, කොටස් වලට අදාළ ප‍්‍රතිලාභය, නවෝත්පාදනයන් හෝ තාක්ෂණය තුළින් දේශීය කර්මාන්ත සඳහා නව ප‍්‍රමිතීන් හඳුන්වාදීම යන සාධක පිළිබඳවද සලකා බලා ඇත

          ‘ද බෑන්කර්’ විසින් කොමර්ෂල් බැංකුවට පිරිනැමූ සම්මානය සමග දුරෙයිරත්නම් මහතා සේයාරුවෙන් දැක්වේ.

            එටිසලාට් කාර්ය මණ්ඩලය වෙනුවෙන් නත්තල් කැරොල් සහ නත්තල් සැරසිලි තරගයක්

            December, 23, 2016

            මෙවර නත්තලේත් සිය කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අතර ඇති නොබිඳෙන සබැඳියාවන් සමරමින් රොටුන්ඩා උද්‍යානයේ පිහිටි සිය සුපිරි සේවා මධ්‍යස්ථානයේදී කැරොල් වැඩසටහනක් සහ සිය ප‍්‍රධාන කාර්යාලයේදී නත්තල් සැරසිලි තරගයක් සංවිධානය කිරීමට එටිසලාට් ලංකා සමාගම පසුගියදා කටයුතු කළේ ය. මේ සඳහා සහභාගී වීමේ අවස්ථාව එටිසලාට් සේවක සේවිකාවන්ගේ පවුල්වල සාමාජිකයන්ටද උදාවූ අතර ඔවුන් වෙනුවෙන් එටිසලාට් කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් නත්තල් ගීත ගයනා ප‍්‍රසංගයක්ද පැවැත්විණි.

            ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වයට ගරු කරන සමාගමක් ලෙස එටිසලාට් ලංකා සමාගම රටේ ආගමික උත්සවවලට සමගාමීව විශේෂ වැඩසටහන් සංවිධානය කරන අතර, සිය කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල අය සමග එකමුතුභාවය තරකර ගැනීමට මෙම වැඩසටහන් ඉවහල් කර ගනී.

            එමෙන්ම මීට සමගාමීව පැවැත්වුණු නත්තල් සැරසිලි තරගය එටිසලාට් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් අතර කණ්ඩායම් හැඟීම වැඩිදියුණු කිරීමට සහ ඔවුන් තුළ ඇති නිර්මාණශීලීත්වය අවදි කිරීමට ලැබුණු මනා අවස්ථාවක් ලෙස හැඳින්විය හැක.

            මෙම ඡුායාරූපවල දැක්වෙන්නේ එටිසලාට් සමාගම සංවිධානය කළ නත්තල් කැරොල් වැඩසටහනේ අවස්ථා කිහිපයක් සහ නත්තල් සැරසිලි තරගයට ඉදිරිපත් වූ සැරසිලි කිහිපයකි.

              ලංකා බැංකුවේ ණයකර නිකුතුවට ඉල්ලුම අධික වෙයි

              December, 22, 2016

              ලංකා බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ණයකර නිකුතුව සඳහා ඇති වූ අධිදායකත්වය හේතුවෙන් එම නිකුතුව ඊයේ සවස 4.30 ට වසා දැමීමට කටයුතු කළ බව බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දි සිටී.

              මූලික අදියරේ දී රු. 100 බැගින් වූ ණයකර මිලියන 50 ක් නිකුත් කිරීමට මෙහිදී පියවර ගත් අතර අධිදායකත්වයක් ඇතිවුවහොත් තවත් මිලියන 30 ක ණයකර ප්‍රමාණයක් නිකුත් කිරීමට එහිදී සැලසුම් කර තිබිණි.

              මේ අනුව සම්පූර්ණ ණයකර නිකුතුව සඳහා රුපියල් බිලියන 8 ක දායකත්වයක් මේ වන විට ලැබී ඇති අතර ඒ හේතුවෙන් නිකුතුව 2016 දෙසැම්බර් 21 වන දින පස්වරු 4.30 ට වසා දැමීමට පියවර ගත් බව බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

                වසරේ අඩුම කොටස් පිරිවැටුම අද වාර්තා වෙයි

                December, 22, 2016

                කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද දිනය අවසානයේ දී ඒකක 6,209.65 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 17.68 ක පහළ යාමකි. කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය මෙලෙසින් අද දිනයේ දී පහළ ගියේ අඛණ්ඩව 8 වන දිනයටයි.

                මේ අතර අද දින පිරිවැටුම රුපියල් මිලියන 114.51 ක් ලෙසින් සටහන් වූ අතර 2016 වසරේ තනි දිනක් තුළ වාර්තා වූ අවම කොටස් වෙළෙඳපොළ පිරිවැටුම ලෙසින් ද මෙය වාර්තා වේ. එසේම එය 2014 මාර්තු 17 දිනෙන් පසු වාර්තා වූ අවම පිරිවැටුමයි. 2014 මාර්තු 17 දින කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුමේ වටිනාකම රුපියල් මිලියන 90.9 ක් විය.

                  SLIIT වෙතින් Deakin විශ්ව විද්‍යාල සිසුන්ට ශිෂ්‍ය පුහුණු සංචාර වැඩසටහනක්

                  December, 22, 2016

                  සාමාන්‍ය ඉගෙනුම් පරිසරයෙන් බැහැරගත ශිෂ්‍ය පුහුණු සංචාර වැඩසටහන් (Outbound Student Mobility Programme) යනු සිසුන් ට විදෙස් සංචාරයක් සමග තම විෂය පථයට අදාළ ඉගෙනීම මෙන්ම සංස්කෘතික අත්දැකීමක් ද ගෙනෙන්නකි. මෑතකදී SLIIT උසස් අධ්‍යාපන ආයතනය විසින් ඕස්ට්‍රේලියාවේ Deakin විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය කණ්ඩායමක ට එවැනි වැඩසටහනක් සඳහා සත්කාරකත්වය ලබාදුනි. මෙම උපාධි ලකුණු ද රැගත් වැඩසටහනේ තේමාව වී තිබුණේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවේ සංවර්ධනය වෙනුවෙන් තොරතුරු සන්නිවේදන තාක්ෂණය යන්න ය. මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ SLIIT හි ජාත්‍යන්තර අංශය හා පරිගණක විද්‍යා පීඨය විසින්වන අතර එය මෙහෙයවනු ලැබූයේ එහි තොරතුරු පද්ධති ඉංජිනේරු අධ්‍යනාංශය විසිනි.

                  “කෙටිකාලීන ජාත්‍යන්තර ශිෂ්‍ය වැඩසටහන් සිසුන්ගේ අධ්‍යයන ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයටත් විශාල දායකත්වයක් සපයන වටිනා අධ්‍යාපන ව්‍යායාමයක්. Deakin විශ්ව විද්‍යාලයත් සමග අපට ඇති ශක්තිමත් සම්බන්ධය නිසා එම විශ්ව විද්‍යාලයේ සිසුන් ට තම උපාධි පාඨමාලාවේ ලකුණු ලබාදෙන සුවිශේෂී අධ්‍යයන අත්දැකීමක ට අවස්ථාව උදා වී තිබෙනවා. මෑතකදී පැවැත්වුණු වැඩසටහන අතරතුරදී හික්කඩුව, නුවරඑළිය හා අනුරාධපුර කරා ගමන් ගන්නටත් කොළඹ නගරය තුළ සංචාරයක යෙදෙන්නටත් එම සිසුන් ට ඉඩකඩ ලැබුණා. මෙවැනි අවස්ථාවලදී විදේශීය සිසුන් හා එක්ව කටයුතු කිරීමටත් දැනුම වගේම අන්තර් සංස්කෘතික සන්නිවේදන කුසලතා දියුණු කරගැනීමටත් කදිම අවස්ථාවක් SLIIT සිසුන්ටත් හිමිවෙනවා” යැයි SLIIT ප්‍රධානී හා ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා පැවසීය.

                  මෙසේ ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදුණු Deakin විශ්ව විද්‍යාල සිසු පිරිස ට මෙරට තොරතුරු සන්නිවේදන තාක්ෂණ සැලසුම් පිළිබඳව මෙන්ම මුහුණ දී ඇති අභියෝග හා දේශීය වශයෙන් භාවිතා කෙරෙන අදාළ තාක්ෂණ ක්‍රම ද මෙහිදී හඳුන්වාදිණි. ඔවුන්ගේ අධ්‍යයන පැවරුම පදනම්ව පැවැතියේ ග්‍රාමීය වශයෙන් කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, ධීවර කර්මාන්තය, ආණ්ඩුකරණය හා සෞඛ්‍ය ආදී ක්ෂේත්‍රයන් ට අදාළව තොරතුරු සන්නිවේදන තාක්ෂණය දියුණු කිරීම පිළිබඳව ය.

                  මෙම අංශයන්හි වර්තමාන ප්‍රගතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා ක්ෂේත්‍ර චාරිකා සිසුන්ට ප්‍රයෝජනවත් විය. තමන් විසින් සොයාගැනු ලැබූ කරුණු හා එහි විශ්ලේෂණය ට අනුව ප්‍රශ්නය හඳුනාගැනීම, බලපෑම්/ව්‍යාපාර විශ්ලේෂණ සංරචකය, නව අදහස් හා සංකල්ප, ඉදිරිපත් කිරීම්වලට සහාය වන ක්‍රමානුරූපණ ආදිය මත පිහිටා තම ව්‍යාපෘති ඉදිරිපත් කිරීම ට ඔවුන්ට සිදුවිය. මේ සියල්ල අතරේ ශ්‍රී ලංකාවේ දියුණු සංස්කෘතික හා ස්වභාවික සෞන්දර්යය අත්විඳීමේ අවස්ථාව ද ඔවුනට හිමිවිය.

                  “විදෙස් අධ්‍යාපන අත්දැකීම්, සිසුන් ගේ අධ්‍යාපන කටයුතු සඳහාත් ජීවිත අවබෝධය සඳහාත් විශාල පිටුවහලක් සපයනවා. එමනිසා මෙම ශිෂ්‍ය සංචරණ වැඩසටහනත් විදේශීය මෙන්ම දේශීය සිසුන්ටත් අසමසම අත්දැකීමක් සමීප කරන බව අපට විශ්වාසයි. ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වශයෙන් අප කල්පනා කරන්නේ මෙවැනි ක්‍රියාකාරකම් තුළින් තරුණ ශිෂ්‍ය ප්‍රජාව ට ගෝලීය දක්ෂතා දියුණු කරගන්නත් ගෝලීය මනසක් නිර්මාණය කරගන්නත් අත්වැලක් සැපයෙන බවයි” යනුවෙන් SLIIT ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

                    2017 වන විට නව රැකියා රැසක්

                    December, 22, 2016

                    2017 වසර වන විට ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ ඍජු ආයෝජන බොහොමයක් ලැබීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවේ මුදලේ අගය ශක්තිමත් වනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

                    ආනයනය වැඩිවීම සහ ශ්‍රී ලංකාවේ ආයෝජනය කර තිබූ විදේශ මුදල් රටින් බැහැරව ගෙන යාම ආදී හේතුවෙන් 2015 වසරේ දී ශ්‍රී ලංකාවේ රුපියලේ අගය අව ප්‍රමාණය විය.

                    ලබන වසර වන විට හම්බන්තොට වරාය චීන රජයේ ආයෝජකයකු සමගින් ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදලක් ප්‍රාග්ධන වශයෙන් යෙදවීමට නියමිතය.

                    මෙයට අමතරව තවත් විදේශ ඍජු ආයෝජන කිහිපයක් මත ප්‍රාග්ධන ය මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

                    තෙල් පිරිපහදුව, විදුලිය ජනනය කිරීම්, පශු සම්පත් ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදන සහ ධීවර කර්මාන්ත ආදී ක්ෂේත්‍රවලට අදාළ ව මෙම විදේශ ඍජු ආයෝජන අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

                    මෙමඟින් රජය ජනතාවට පොරොන්දු වූ පරිදි රට වේගවත් සංවර්ධනයක් කරා යොමු කිරීමට හැකිවන අතර නව රැකියා අවස්ථා ද බිහිවනු ඇත.

                      මාගම්පුර වරාය ව්‍යාපෘතියට සමගාමීව කර්මාන්ත ශාලා 2400ක්

                      December, 22, 2016

                      රජය සහ චීන පෞද්ගලික සමාගමක් එක්ව සංවර්ධනයට කිරීමට නියමිත මාගම්පුර වරාය ව්‍යාපෘතියට සමගාමීව ඉදිරි වසර 5ක කාලය තුළ එම ප්‍රදේශය ආශ්‍රිත ව කර්මාන්ත ශාලා 2400ක් පමණ ඇති වෙතැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය.

                      ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) එම අමාත්‍යංශයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

                      මෙම ව්‍යාපෘතිය හරහා හම්බන්තොට, මොණරාගල, ඇඹිලිපිටිය, මාතර ආදී දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආර්ථික කලාපයක් ඇති කරන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා මෙම කලාපය ආශ්‍රිතව කර්මාන්ත ශාලා ඇතිකරමින් තරුණ තරුණියන් ලක්ෂ 04කට පමණ රැකියා ලබාදීමට අපේක්ෂා කරන බවත් පෙන්වා දුනි.

                      මෙම ආර්ථික කලාපය සඳහා අදියර 3ක් යටතේ අක්කර 15000ක් ලබාදීමට ද නියමිතය.

                      චීන රජය විසින් මෙම සමාගම සංවර්ධනය කිරීම සඳහා සමාගම් දෙකක් නම් කළා. ඉන් චයිනා හාබර් සමාගම විසින් වරායේ 65%ක කොටසක් වෙනුවෙන් ඩොලර් මිලියන 750ක් , චයිනා මර්චන්ට් සමාගම විසින් 80%ක් සඳහා ඩොලර් බිලියන 1.12ක් වශයෙන් ලංසු ඉදිරිපත් කළා. ඒ අනුව මේ පිළිබඳ කැබිනට් අනුමැතියෙන් අනතුරුව චයිනා මර්චන්ට් සමාගම සමඟ හවුලේ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමට තීරණය කෙරුණා.

                      මේ වන විට චයිනා මර්චන්ට් සමාගම සමඟ රජය මූලික ගිවිසුමක් අත්සන් කොට ඇති බවත් එළැඹෙන වසරේ ජනවාරි මාසයේ දී හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමේ අවසර ලබාදීමේ ගිවිසුම අත්සන් කිරීමට නියමිත බවත් පැවසීය.

                      පවතින තත්ත්වය යටතේ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 500 - 600ත් අතර මුදලක් අවශ්‍ය වන බවත් එම මුදල් ද යෙදවීමට චීන සමාගම විසින් එකඟත්වය පළ කොට ඇති බවත් කී අමාත්‍යවරයා අක්කර 1200ක් වන වරාය භූමියේ සිමෙන්ති කාර්මාන්ත ශාලාවක්, ගෑස්, තෙල්, මෙන් ම නාවික යාත්‍රා අලුත් වැඩියා කිරීම වැනි කර්මාන්ත ඇතිකිරීමට නියමිතය.

                      මෙම වරාය වාණිජ කටයුතු සඳහා පමණක් භාවිත කිරීමේ අවසර ඇති බව කිසිඳු හමුදා මෙහෙයුම් සඳහා ලබානොදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.