2017 අවසානයේ ඩොලර් බිලියන 10 ක විදෙස් සංචිතයක්

    April, 28, 2017

    පසුගිය දෙසැම්බර් මාසය වන විට ඩොලර් බිලියන 6,200 ක තිබුණු විදෙස් සංචිත වටිනාකම මාර්තු මාසයේ දී 5,300 දක්වා අඩු වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසන ලදී. ඊයේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී මුදල් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.එසේම එය 2017 වසර අවසාන වන විට ඩොලර් බිලියන 10 දක්වා වැඩිකරගැනීමට සැලසුම් කර තිබෙන බවද මුදල් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙසේ කියා පැවසීය.

    “ටෙම්පල්ටන් ෆන්ඩ් එක 2013 විතර සියයට 14.85 ක ස්ථිර පොළියකට මේ රටට ගෙන්න ගත්තා. ඊට පස්සේ යන්න පටන් ගත්තේ දේශපාලන හුවමාරුවක් තුළින්. ඒගොල්ලෝ හිතුවා මේකේ එළියට යෑමෙන් අපේ ආර්ථිකයට අවහිරතාවයක් ඇති වෙයි කියලා. නමුත් ඒගොල්ලෝ දැන ගත්තේ නැහැ, අපිත් සූදානමින් හිටියා. ඒ සියලු සල්ලි ගත්තට පස්සේත් අද විදෙස් ආයෝජනවල සීඝ්‍ර වර්ධනයක් තියෙනවා. ආර්ථිකයේ ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම වෙන්න බැහැ. වත්මන් මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ රජයට ප්‍රතිලාභ ලෙස තමයි ඔය ආයෝජන එන්න පටන් අරන් තියෙන්නේ.“

    “ඩොලර් බිලියන 5.3 ක් අද තියෙන සංචිත ප්‍රමාණය, අපි විශ්වාස කරනවා, රටට එන ආයෝජන තුළිනුත්, එන ජාත්‍යන්තර බැඳුම්කර තුළිනුත්, ලංකාවට එන අනෙක් සල්ලි, ඒ කියන්නේ හම්බන්තොට වරාය, ඒකෙන් එන සල්ලි තුළිනුත් අවුරුද්ද අග වෙනකොට අද තනිඉලක්කමක දහස් ගණනක තියෙන අගය දහදහස් ගණනකට වැඩිවෙන්න පුළුවන් තත්ත්වයක තමයි අපි ඇස්තමේන්තු කරන්නේ.“