2017 දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4 ක වර්ධනයක්

    September, 19, 2017

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2017 වර්ෂයේ දෙවන  කාර්තුව සඳහා පවත්නා මිල ගණන් යටතේ සහ ස්ථාවර මිල ගණන් (2010) යටතේ නිෂ්පාදන ප්‍රවේශය යොදාගෙන ඇස්තමේන්තු කරන ලද දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ප්‍රකාශයට පත් කොට ඇත.

    ජාතික ගිණුම් ඇස්තමේන්තු පිළිබද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්,  2017 වර්ෂයේ දෙවන කාර්තුවේ ඇස්තමේන්තුගත ආර්ථික වර්ධන වේගය සියයට 4.0 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙම වර්ෂයේ දෙවන කාර්තුව සදහා ස්ථාවර මිල ගණන්(2010) යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,211,612 ක් ලෙස ඇස්තමේන්තු කොට ඇත. එය 2016 වර්ෂයේ දෙවන කාර්තුව සදහා රුපියල් මිලියන 2,125,848 ක් විය.

    ආර්ථිකයේ ප්‍රධාන සංරචක වන කෘෂිකර්මය, කර්මාන්ත, සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩුකල බදු පවත්නා මිල ගණන් යටතේ 2017 වර්ෂයේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වා ඇති  දායකත්වයන් පිළිවෙලින් සියයට 8.2 ක්, සියයට 25.9 ක්, සියයට 56.6 ක් සහ සියයට 9.4 ක් ලෙස වාර්තා වේ. තව ද මෙම කාර්තුවේ දී කර්මාන්ත අංශයේ ආර්ථික කටයුතු සහ සේවා අංශයේ ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 5.2ක් සහ සියයට 4.5ක් වශයෙන් සැළකිය යුතු වර්ධන වේගයන් වාර්තා කර ඇත. කෙසේ වෙතත් කෘෂිකාර්මික ආර්ථික කටයුතු තවදුරටත් වාර්තා කර ඇත්තේ සියයට 2.9 ක ඝෘණ වර්ධනයකි. පසුගිය මාස 18ක කාලය මුළුල්ලේ දිවයිනේ බොහෝ දිස්ත්‍රක්කවලට බලපෑ වගා කටයුතු සදහා හිතකර නොවන කාලගුණික තත්ත්ව (නියගය හා දැඩි වර්ෂාපතනය) නිසා කෘෂිකාර්මික ආර්ථික කටයුතු පසුගිය කාර්තු 6 සදහා අඛණ්ඩව ඝෘණ වර්ධන වේගයන් වාර්තා කර ඇත.

    ප්‍රධාන කෘෂිකාර්මික ආර්ථික කටයුතු අතුරින් “වී වගා කිරීම”, “පොල් වගාව ඇතුළත් තෙල් සහිත බෝග වගාව”, “වී නොවන අනෙකුත් ධාන්‍ය වගා කිරීම”, “එළවළු වගා කිරීම” සහ “කුළුබඩු වගා කිරීම”   පිළිවෙලින් සියයට 32.9 ක්, සියයට 20.2 ක්, සියයට 15.3 ක්, සියයට 5.9 ක් සහ සියයට 3.8 ක් වශයෙන් ඝෘණ වර්ධන වේගයන් පෙර වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව 2017 දෙවන කාර්තුවේ දී වාර්තා කර ඇත. කෙසේ වෙතත්  “රබර් වගා කිරීම” සහ “තේ වගා කිරීම” යන පසුගිය වර්ෂ තුනේ සෑම කාර්තුවකදී ම ඝෘණ වර්ධන වේගයන් වාර්තා කළ ප්‍රධාන ආර්ථික කටයුතු ද්විත්වය 2017 දෙවන කාර්තුවේ දී පිළිවෙලින් සියයට 10.2 ක් සහ සියයට 6.9 ක් වශයෙන් ධන වර්ධන වේගයන් වාර්තා කර තිබීම කැපී පෙනේ. තව ද “සත්ව නිෂ්පාදන” සහ “මිරිදිය ධීවර කටයුතු” පිළිවෙලින් සියයට 10.9 ක් සහ සියයට 9.0 ක් වශයෙන් සැලකිය යුතු වර්ධන වේගයන් වාර්තා කර ඇත. එසේ ම  “වන වගා සහ දැව” සහ “කරදිය ධීවර කටයුතු”  යන  කෘෂිකාර්මික ආර්ථික කටයුතු ද ධන වර්ධන වේගයන් (පිළිවෙලින් සියයට 5.5 ක් සහ  සියයට 3.1 ක් වශයෙන්) 2017 දෙවන කාර්තුවේ දී වාර්තා කර ඇත.

    කර්මාන්ත ආර්ථික කටයුතු 2017 දෙවන කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතයට සියයට 25.9 ක දායකත්වයක් ලබා දෙන අතර සියයට 5.2 ක සතුටුදායක වර්ධනයක් වාර්තා කර ඇත. කර්මාන්ත ආර්ථික කටයුතු අතුරෙන් දළ දේශීය නිෂ්පාදිතයට වැඩි ම දායකත්වයක් දක්වන “ඉදිකිරීම් කර්මාන්තය” පෙර වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව 2017 දෙවන කාර්තුවේ දී සියයට 9.3ක සැළකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත.  එසේ ම “පතල් හා කැනීම් කර්මාන්තය” සියයට 18.4  ක ඉහළ වර්ධනයක් වාර්තා කර ඇත. නිමැවුම් කර්මාන්ත කටයුතු සමස්තයක් වශයෙන්  සියයට 0.9 ක වර්ධනයක් 2017 දෙවන කාර්තුවේ දී වාර්තා කර ඇත. නිමැවුම් කර්මාන්ත කටයුතු සදහා වැඩි දායකත්වයන් සහිත “ආහාරපාන සහ දුම්කොළ නිෂ්පාදනය” සහ “රෙදිපිළි, නිමි ඇදුම්, සම්භාණ්ඩ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන” පිළිවෙලින් සියයට 2.2 ක ඝෘණ වර්ධනයක් සහ සියයට 2.5 ක ධන වර්ධනයක් මෙම කාර්තුවේ දී වාර්තා කර ඇත. තව ද “ගෘහ භාණ්ඩ නිෂ්පාදනය” සහ “රබර් හා ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය” පිළිවෙලින් සියයට 12.4ක් සහ සියයට 8.4 ක් වශයෙන් ධන වර්ධන වේගයන් වාර්තා කර ඇත.

    ආර්ථිකයේ ප්‍රධාන අංශ තුන අතුරින් දළ දේශීය නිෂ්පාදිතයට ඉහළම දායකත්වය (සියයට 56.6) සහිත සේවා අංශය 2016 වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව 2017 වර්ෂයේ දෙවන කාර්තුවේ දී සියයට 4.5 ක වර්ධන වේගයක් ලඟා කරගෙන ඇත. එහිදී  “මුල්‍ය හා මුල්‍ය අතරමැදි සේවා කටයුතු” , “සෞඛ්‍ය සේවා ” සහ “විදුලි සංදේශ සේවා” පිළිවෙලින් සියයට 16.4 ක්, සියයට 13.2 ක් සහ සියයට 12.4 ක් වශයෙන් ඉහළ වර්ධන වේගයන් වාර්තා කර ඇත. එසේ ම පිළිවෙලින් දළ දේශීය නිෂ්පාදිතයට ඉහළම දායකත්වයන් සහිත ආර්ථික කටයුතු වන “තොග හා සිල්ලර වෙළඳාම් කටයුතු” සහ“ප්‍රවාහන සේවා” සියයට 4.0 ක් සහ සියයට 1.6ක් වශයෙන් සැලකිය යුතු වර්ධන වේගයන් වාර්තා කර ඇත.

    2017 වර්ෂයේ දෙවන කාර්තුවට අදාල ජාතික ගිණුම් ඇස්තමේන්තු පිළිබඳ විස්තරාත්මක තොරතුරු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ  www.statistics.gov.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කොට ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.