2017 වර්ෂයේ දී වාර්තාගත විදේශ ආයෝජනයක්

    November, 23, 2017

    වසරක් තුලදී කොටස් වෙළෙඳපොළෙහි  වාර්තා වී ඇති වැඩිම විදේශ මිලදී ගැනිම් ප්‍රමාණය සදහා නව වාර්තාවක් සටහන් කරමින්, 2017 වර්ෂයෙහි රුපියල් බිලියන 105.1 ක විදේශ ආයෝජනයක් මේ වන විට සටහන් වී ඇත. මෙම නව වාර්තාව 2014 වර්ෂයේ රුපියල් බිලියන 104.7 යන අගය ඉක්මවා ඇති අතර එමගින් 2017 වර්ෂයෙදී කොටස් වෙළෙදපොළ කෙරෙහි  විදේශ ආයෝජකයින් දක්වා ඇති විශේෂ උනන්දුව පෙන්නුම් කරයි.

    ශ්‍රී ලාංකීය ආර්ථිකයෙහි ඉදිරි දැක්ම සහ ලැයිස්තුගත සමාගම් කෙරෙහි විදේශ ආයෝජක ප්‍රජාව අතර ඇති විශ්වාසය තහවුරු වීමක් ලෙස මෙම වාර්තාගත විදේශ ආයෝජනය පෙන්වාදිය හැක. මෙවැනි ආයෝජනයක දායකත්වයක් තුලින් කොටස් වෙළෙඳපොළෙහි සමාන්‍යය දෛනික පිරිවැටුම 2016 වර්ෂයෙදී රුපියල් මිලියන 737 සිට මේ වන විට රුපියල් මිලියන 955ක් දක්වා වැඩි වෙමින් 30% වර්ධනයක්ද පෙන්නුම් කර ඇත.

    මෙම වාර්තාගත විදේශ ආයෝජනය පිළිබඳව අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවෙහි වෙළෙඳපොළ සංවර්ධන ප්‍රධානී නිරෝෂන් විජේසුන්දර මහතා පවසා සිටියේ විදේශ ආයෝජකයින් අතර ශ්‍රී ලාංකීය කොටස් වෙළෙඳපොළ තුල ඇති උනන්දුව වර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් මෙම වසර තුල කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව දියත් කර ඇති බවයි. එමගින් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ඇමෙරිකා‍ එක්සත් ජනපදය වැනි රටවල ආයෝජක සම්මන්ත්‍රණ පවත්වමින් ලාංකීය ආර්ථිකය සහ ලැයිස්තුගත සමාගම් පිළිබඳව උනන්දුවක් ඇතිකිරීමට සමත් වී ඇති බව හෙතෙම පැවසීය. කොටස් වෙළෙඳපොළ මෙම වසර තුල සමස්ථයක් වශයෙන් දක්වා ඇති වර්ධනය තුල තවත් දීර්ඝකාලීන ආයෝජන අවස්ථා ඇති වතාවරණයක් උදා වී ඇති බව එතුමා තවදුරටත් පැවසීය.

    එවැනි ආයෝජන අවස්ථා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව “කොටස් වෙළෙඳපොළ නගරයෙන් නගරයට” නමින් රට වටා ආයෝජක සම්මන්ත්‍රණ රැසක් පවත්වා ඇති අතර, ඉදිරියේදීද  තවත් නගරවලදී මෙම සම්මන්ත්‍රණ පැවැත්වීමට නියමිතය. මීට අමතරව CSE ශාඛා ජාලය තුලින් වර්ධනය වෙමින් පවතින කොටස් වෙළෙඳපොළක ආයෝජනය පිළිබදව දැනුවත් කිරීම සම්බන්ධයෙන් වැඩමුළු 500කට අධික ප්‍රමාණයක්ද මෙම වසර තුල පවත්වා ඇත.