2018 අයවැය සඳහා යෝජනා ඉදිරිපත් කරන්න – මුදල් අමාත්‍යාංශය

    September, 27, 2017

    2018 වසර සඳහා වන අයවැය නොවැම්බර් මස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බැවින් ඒ සඳහා ඇතුළත් කළ යුතු තම යෝජනා ඉදිරිපත් කරන්නැයි ආර්ථිකයේ සියලු ක්ෂේත්‍රයන් හට අදාළ සියලු පාර්ශවකරුවන්ගෙන් රජය ඉල්ලා සිටියි.

    ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම, පොහොසත් රටක් බිහිකිරීම හා රැකියා දස ලක්ෂයක් උත්පාදනය කිරීම අරමුණු කර ගනිමින් සාර්ථක අයවැයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බැවින් මෙම ක්ෂේත්‍රයන් උන්නතිය උදෙසා කරනු ලබන තම යෝජනා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටිනු ලැබේ.

    ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව හා සංවර්ධනය ප්‍රධාන තේමා කරගත් මෙම සම්මුතිවාදී රජය සෑම අවස්ථාවකදීම රටේ ආර්ථික අවශ්‍යතාවය මෙන්ම ජනතා අපේක්ෂාවන්ටද මුල් තැන දෙමින් කටයුතු කරන බැවින් වෘත්තීයවේදීන්, විද්වතුන්, ආර්ථිකයේ නිෂ්පාදන, කෘෂිකර්මාන්ත හා සේවා යන අංශවල නියැලී සිටින්නන් මෙන්ම පොදු මහජනතාවද අයවැයට ඇතුළත් කළ යුතු තම යෝජනා ඇත්නම් කොළඹ කොටුව මහලේකම් කාර්යාලයේ පිහිටි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ඔක්තෝබර් මස 15 දිනට ප්‍රථම යොමුකළ හැකිය. එසේ නැතහොත් info@itmd.treasury.gov.lk යන විද්‍යුත් තැපෑල මගින්ද ඉදිරිපත් කළ හැකිය.

    ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා, පොහොසත් රටක් බිහිකිරීම සඳහා රැකියා දස ලක්ෂයක් උත්පාදනය කර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාකාරීත්වය පුළුල් කිරීම සඳහා මෙම රජය බලයට පත්වීමෙන් පසුව අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් ලබාගෙන ඇති අතර මේ වනවිට දෙලක්ෂයක් පමණ නිවාස ඉදිකර නිවාස නොමැති අයට ලබාදී තිබේ.

    රාජ්‍ය මූල්‍ය හා පරිපාලන ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය වැඩිකිරීම සඳහා ප්‍රතිසංස්කරණ ඇතුළත් මහජනතාවට යහපත් අනාගතයක් උදාකර දෙන මෙම රජයේ සිව්වැනි අයවැය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නොවැම්බර් මස 09 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.