2018 තනි දිනක් තුළ වැඩිම කොටස් වෙළෙඳපොළ පහළ යාම අද වාර්තා වෙයි

    July, 2, 2018

    2018 වර්ෂයේ දෙවන භාගය වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (ජූලි 02) ආරම්භ වූ අතර ඒකක 6,194.6 ක් ලෙසින් දිනය ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශකය සටහන්ව තිබුණි.  කෙසේ වෙතත් අද දින ගනුදෙනු අවසන් වූයේ දිනය තුළ දී ඒකක 66.29 ක පහළ යාමක්, සියලු කොටස් මිල දර්ශකයේ සටහන් කරමිනි. මෙය පෙර දිනයට සාපේක්ෂව 1.07% ක පහළ යාමක් ලෙසින් වාර්තා වේ. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,128.34 ක් ලෙසින් සටහන් විය.

    2018 වර්ෂයේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ තනි දිනක් තුළ වැඩිම ඒකක ප්‍රමාණයකින් කොටස් වෙළෙඳපොළ පහළ ගොස් ඇත්තේ අද (02) දිනය තුළ දීය. මීට පෙර පසුගිය ජූනි 20 වන දින සියලු කොටස් මිල දර්ශකයෙහි වාර්තා වූ ඒකක 47.8 ක පහළ යාම, මෙම වසරේ තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම අගය පහළ යාම ලෙසින් වාර්තා වේ. එසේම පෙර දිනයට සාපේක්ෂව 1% ක් ඉක්මවූ ප්‍රමාණයකින් සියලු කොටස් මිල දර්ශකය 2018 වසරේ පහළ ගිය පළමු අවස්ථාව ලෙසින් ද අද (02) දිනය සැලකිය හැකිය.

    දිනය තුළ රුපියල් මිලියන 755.93 ක පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. මිලියන 583.27 ක් සහ දේශීය විකුණුම් රු. මිලියන 272.09 ක් ලෙසින් සටහන් විය.

    දිනය තුළ රු. මිලියන 311.18 ක ශුද්ධ විදේශීය විකුණුම් වාර්තා වීම කැපී පෙනේ. මෙහිදී විදේශීය මිලදී ගැනීම් රු. මිලියන 172.69 ක් හා විදේශීය විකුණුම් රු. මිලියන 483.87 ක් ලෙසින් වාර්තා විය.

    අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාම සඳහා වැඩි වශයෙන් දායක් වූ සමාගම් ලෙසින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, ඩිස්ටිලරීස්, සිලෝන් ටුබැකෝ, මෙල්ස්ටාකෝප්, ඩයලොග් හැඳින්විය හැකිය.

    සියලු කොටස් මිල දර්ශකයේ අද දින මෙම පහළ යාමත් සමඟම 2018 වසරේ මේ දක්වා කාලය තුළ දී සමස්තයක් ලෙස ගත් කල 3.78% කින් කොටස් වෙළෙඳපොළ කඩා වැටී තිබේ. එසේම S&P SL20 දර්ශකය වසරේ මේ දක්වා කාලය තුළ දී 8.81% ක පහළ යාමක් වාර්තා කරනු ලබයි.