2018 දී දුම්කොළ සමාගමෙන් රජයට රු. බිලියන 132 ක බදු ආදායමක්

    February, 20, 2019

    2018 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී ලංකා දුම්කොළ සමාගමේ විකුණුම් පරිමාව 3.2% කින් පහළ ගොස් ඇති බව සමාගම පවසයි. මෙහිදී සමාගම වැඩිදුරටත් කියා සිටින්නේ 2018 අගෝස්තු 01 දින සිට සිගරට් මිල ඉහළ දැමීමට රජය විසින් කටයුතු කිරීම මීට හේතු වී ඇති බවයි.

    මේ අතර පසුගිය වසර තුළ දුම්කොළ සමාගම විසින් රජයට ගෙවා ඇති සම්පූර්ණ බදු ප්‍රමාණය පෙර වසරට වඩා රුත බිලියන 7.53 කින් ඉහළ ගොස් ඇති අතර එය 6.4% ක ඉහළ යාමකි. මෙහිදී රුපියල් බිලියන 112.36 ක් රජයේ බදු ලෙසත්, රු. බිලියන 10.47 ක් ආදායම් බදු ලෙසත් රජයේ ගිණුමට බැර වී තිබේ.

    මෙහිදී සමාගම අවධාරණය කර සිටින්නේ වසර තුළ මෙරට සංසරණය වූ නීතිවිරෝධී දුම්වැටි ප්‍රමාණය මිලියන 510 ක් හා බීඩී ප්‍රමාණය බිලියන 4.8 ක් බවට ඇස්තමේන්තුගත කර ඇති බවයි. එසේම එය දුම්කොළ කර්මාන්තය හරහා රජයට ලැබෙන බදු ආදායම පහළ දැමීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව සමාගම වැඩිදුරටත් පවසයි.

    2018 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය වර්ෂය තුළ දී ලංකා දුම්කොළ සමාගම විසින් රු. බිලියන 17 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබේ. මෙය පූර්ව වර්ෂයට වඩා රු. බිලියන 2.41 ක ඉහළ යාමකි.